එ.ජාතීන්ගේ 78 වැනි මහා මණ්ඩල සැසි වාරය අදින් ඇරඹෙයි

සැප් 18, 2023

    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසි වාරය, අද ආරම්භ වනවා. එය ලබන 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

    මහා මණ්ඩල සැසි වැරය ඇමතීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ අලුයම එක්සත් ජනපදයේ නිව්යෝක් නුවරට ළඟා වුණා. ඒ, කියුබාවේ පැවති ජී-77 සහ චීනය සමුළුවට සහභාගි වීමෙන් අනතුරුවයි.

    “2030 න්‍යාය පත්‍රය වෙනුවෙන් සාමය, සෞභාග්‍යය, ප්‍රගතිය සහ තිරසරභාවය මත පදනම්ව, තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීමේ ක්‍රියාමාර්ග වේගවත් කිරීම සඳහා විශ්වාසය යළි ගොඩනැංවීම සහ ගෝලීය සහ‍යෝගිතාව යළි ඇති කිරීම” මෙවර එහි තේමාවයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසි වාරය අමතන්නේ, ලබන 21 වැනිදායි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසි වාරයට සමගාමීව පැවැත්වෙන “2030 වෙනුවෙන් පරිවර්තනීය සහ වේගවත් ක්‍රියාදාමයන් සඳහා ලෝක නායකයින් විසින් මාර්ගෝපදේශ සපයනු ලබන 2023 තිරසර සංවර්ධන ඉලක්ක” සමුළුවේ රාජ්‍ය නායක හමුව සඳහා ද

    ජනාධිපතිවරයා සහභාගි වීමට නියමිතයි. එසේම ජනාධිපතිවරයා සමුළුවට එක්ව සිටින රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර සමුද්‍රීය ජාතීන් සඳහා වන ඉන්දු - පැසිපික් දූපත් රාජ්‍යයන් අතර සංවාදය සඳහා ද එක් වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.

    Latest News