රටේ යතාර්ථය විකෘති කරන ජිනීවා උගුල

සැප් 12, 2023

    ‍ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ, 54 වැනි සැසි වාරයේදී මහ කොමසාරිස්වරියගේ වාර්තාව පිළිබඳ විවාදය, අද පැවැත්වෙනවා.

    ශ්‍රී ලංකාව පිළිබඳව එහිදී සාකච්ඡා වීමට නියමිතයි. ඊයේ පැවති විවාදයේදී රටවල් රැසක් ශ්‍රී ලංකාවට සහය පළ කරමින් අදහස් දක්වා තිබුණා.

    මානව හිමිකම් සැසි වාරයේ සමාරම්භය සනිටුහන් කරමින් නියෝජ්‍ය මහ කොමසාරිස් නඩා අල් නෂීෆ් මහත්මිය, ප්‍රධාන දේශනය සිදුකළා. එහි අඩංගු කරුණු තරයේ ප්‍රතික්‍ෂේප කරන බව, ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක මහත්මිය ප්‍රකාශ කළා.

    "ශ්‍රී ලංකාවේ යතාර්ථය විකෘති කිරීමකට හා වැරදි ලෙස හුවාදැක්වීමකට මේ වාර්තාව තුඩුදෙන බවයි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය සඳහන් කළේ වාර්තාවේ අඩංගු යෝජනා ආක්‍රමණශීලී හා බෙදුනු ස්වභාවයකින් යුක්ත වනවා. ඒවා සම්මත කළේ රටවල් අතළොස්සක් විතරයි.

    ඒ, මානව හිමිකම්වලට පරිබාහිර හේතු හා දේශීය ඡන්ද පදනම් ‍දේශපාලනය මුල්කර ගනිමින්. මෙවැනි හේතු නිසා ශ්‍රී ලංකාව කිසිදු අතකින් මෙම වාර්තාවට සහය දක්වන්නේ නැහැ.”

    අනතුරුව අදහස් දැක්වූ රටවල් රැසක අදහස වූයේ ද ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියා කරනු වෙනුවට, මේ අවස්ථාවේ සහයෝගය ලබාදීම වැදගත් බවයි. පිලිපීනය අදහස් දක්වමින් වගවීම් යාන්ත්‍රණය අමෙරිකානු ඩොලර් මිලියන 10 ක් වැය කරන වියදම් අධික දේශීය යාන්ත්‍රණය සැලකිල්ලට නොගත් ක්‍රියාවලියක් බව පෙන්වා දුන්නා.

    පකිස්තානයේ අදහස වූයේ බාහිර වගවීම් ක්‍රියාවලිය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තීන්ට අනුකූල නොවන බවයි. චීනය, ශ්‍රී ලංකාවේ සංහිඳියාවට මෙන්ම ආර්ථික සංවර්ධනයට සහය පළ කරන බව පෙන්වා දුන් අතර 51/1 යෝජනාව සාධාරණ මූලධර්මවලට පටහැනි බව කියා සිටියා.

    තුර්කිය පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව සාධනීය ක්‍රියාමාර්ග රැසක් මේ අවස්ථාවේ ගෙන ඇති බවයි. ජපානය, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සුරැකීමට මෙන්ම ආර්ථික සංවර්ධනයට ද ආධාර වන බව කියා සිටියා. ඉන්දියාව පෙන්වා දුන්නේ අසල්වැසි රා‍ජ්‍ය ලෙස නිරතුරුව ශ්‍රී ලංකාවේ සංහිඳියාවට මෙන්ම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට ද සහය දක්වා ඇති බවයි.

    රුසියානු ෆෙඩරේෂනය කියා සිටියේ කෘතිමව නිර්මාණය කරන ලද මානව හිමිකම් ක්‍රියාවලිය ඵලදායි බවින් තොර බවයි.

    Last modified on අඟහරුවාදා, 12 සැප්තැම්බර් 2023 22:03

    Latest News