උතුම් මව්පදවියට අලුත් නිවහනක් ගාල්ලෙන්

ජූලි 18, 2023

    රුපියල් කෝටි 357ක මුදලක් වැය කරමින් ගාල්ල කරාපිටියේ ඉදිකෙරෙන දකුණු ආසියාවේ විශාලතම මාතෘ රෝහල මේ වසර අවසානයට පෙර විවෘත කිරීමට සැලසුම් සකස් කර තිබෙනවා.

    මහල් 6කින් සමන්විත මෙම මාතෘ රෝහල ඇඳන් හයසිය හතළිහකින්, ශල්‍යාගාර හයකින්, හදිසි ප්‍රතිකාර ඒකක, දැඩි සත්කාර ඒකක, රසායනාගාර, ළදරු දැඩි සත්කාර ඒකක, විශේෂ ළමා ඒකක ඇතුළු සියලුම නවීන වෛද්‍ය පහසුකම්වලින් ද අපජලය පිරිසිදු කර මුදා හැරීමේ ඒකකයකින් ද සමන්විතය.

    මේ සඳහා ජර්මන් රජය විසින් ලබාදී ඇති ණය ආධාර මුදල යුරෝ මිලියන විසි පහක් (රුපියල් කෝටි 357කි) ක්. එයට අමතරව වෛද්‍ය උපකරණ ද ලැබී තිබෙනවා.

    එහි ඉදිකිරීම් කටයුතු මේ වන විට 80%ක් පමණ අවසන් කර ඇතැයි ඉදිකිරීම් සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට එම ස්ථානයට ඊයේ (17) පැමිණි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඉංජිනේරු සේවා සාලින්ද බණ්ඩාර මහතා පවසනවා.

    මුල් අවස්ථාවේ රෝහල ඉදිකිරීම සඳහා ලැබුණේ පර්චස් 800ක් වුවද පසුව තවත් ඉඩම් කට්ටි දෙකක් ගනු ලැබීය. ඒ අනුව දැන් රෝහල් භූමියේ ප්‍රමාණය පර්චස් දහසකට ආසන්නය.

    නිවාඩුවක් ගත කිරීම සඳහා 2004 දෙසැම්බර් මාසයේ ලංකාවට පැමිණ හබරාදූව, තල්පේ ප්‍රදේශයේ සංචාරක හෝටලයක නතරව සිටි ජර්මනියේ හිටපු චාන්සලර් හෙල්මුට් කෝල් මහතා සුනාමියෙන් දකුණු පළාතේ විශාලම මාතෘ රෝහල වූ ගාල්ල මහමෝදර රෝහලට සිදුවූ හානිය දැක අලුතෙන් මාතෘ රෝහලක් ඉදිකිරීම සඳහා රුපියල් කෝටි තුන් දහසක පරිත්‍යාගයක් ලබාදී තිබෙනවා.

    ඒ අනුව එවකට සිටි අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා 2007 වසරේ දී මෙම නව රෝහලට මුල්ගල් තැබුවා.

    එහෙත් එහි ඉදිකිරීම් භාර දෙනු ලැබූ රාජ්‍ය නොවන සංවිධානය එය අතරමඟ නතර කර දමා ලංකාවෙන් ද පිටව යනු ලැබුවා.

    පසුගිය රජයේ මැදිහත් වීමෙන් එහි ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කරනු ලැබූ අතර ඒ සඳහා ජර්මනියෙන් යුරෝ මිලියන විසි පහක් ලබාගැනීම සඳහා 2015 වසරේදී ගිවිසුම් අත්සන් කෙරුණා.

    නව රෝහල විවෘත කිරීමෙන් පසු මහමෝදර මාතෘ රෝහල එම ස්ථානයෙන් ඉවත් කිරීමට නියමිතයි.

    මහමෝදර රෝහලේ අධ්‍යක්ෂ එම්.එම්.එස්.එන්. මනතුංග මහතා පැවසුවේ නව රෝහල විවෘත කල බාහිර රෝගී අංශය සහ ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකය තවදුරටත් මහමෝදර පැරණි රෝහලේම පවත්වා ගෙන යන බවයි.

    එහෙත් නව රෝහල් භූමියේ වෛද්‍ය නේවාසිකාගාර ඉදිකළ යුතුව තිබෙන බවත් රෝහල් අධ්‍යක්ෂවරයා පවසා සිටියා.

    නව රෝහල කඩිනමින් විවෘත කිරීමට පියවර ගන්නා ලෙස මෙවර පැවති ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්විමේදී එහි සභාපති ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ද ඉල්ලා සිටියා.

    Latest News