අස්වැසුම අභියාචනා කාලය අදින් අවසන්

ජූලි 10, 2023

    අස්වැසුම සමාජ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන සම්බන්ධයෙන් අභියාචනා හා විරෝධතා ඉදිරිපත් කිරීමට දී තිබූ කාලය අදින් (10) අවසන් වනවා.මේ වන විට අභියාචනා ලක්ෂ 8 කට වැඩි ප්‍රමාණයක් හා විරෝධතා 11,000 ක ප්‍රමාණයක් ලැබී ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කරන්නේ.

    අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමට අදාළ ගැසට් පත්‍රය මේ වන විට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව, ප්‍රකාශයට පත් කර තිබෙනවා. ප්‍රතිලාභ ලැබීම සඳහා සුදුසුකම් සපුරා ඇති පිරිස, ලක්ෂ 33 ක් පමණ වනවා.

    සංක්‍රාන්තික, අවදානමට ලක් වූ, දුප්පත් හා අන්ත දිළිඳු යන සමාජ කාණ්ඩ 4 ක් යටතේ “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාබ ගෙවීම සිදු කරනු ලබනවා.

    ආබාධිත තැනැත්තන්, වැඩිහිටි සහ වකුගඩු රෝගීන් සඳහා ද සුපුරුදු පරිදි අදාළ දීමනා ගෙවීමට නියමිතයි.

    සංක්‍රාන්තික ප්‍රතිලාභීන් ලක්ෂ 4 ක් සඳහා මාසිකව රුපියල් 2,500 බැගින් ලබන දෙසැම්බර් 31 වැනිදා දක්වා ද අවදානමට ලක් වූ ප්‍රතිලාභීන් ලක්ෂ 4 ක් සඳහා මාසිකව රුපියල් 5,000 බැගින් 2024 මාර්තු 31 වැනිදා දක්වා ද ලබාදීමට නියමිතයි.

    දුප්පත් ප්‍රතිලාභීන් ලක්ෂ 8 ක් සඳහා මාසිකව රුපියල් 8,500 බැගින් සහ අන්ත දිළිඳු ප්‍රතිලාභීන් සඳහා මාසිකව රුපියල් 15,000 බැගින් ජූලි පළමු වැනිදා සිට වසර තුනක කාලයක් දක්වා ලබා දීමට සැලසුම් කර තිබෙනවා.

    දැනට සුබසාධක ප්‍රතිලාභ ලබන ආබාධිත තැනැත්තන් 72,000 ක් සඳහා මාසිකව රුපියල් 5,000 බැගින් ද, වකුගඩු ආධාර ලබන තැනැත්තන් 39,150 ක් සඳහා රුපියල් 5,000 බැගින් ද

    වැඩිහිටි ආධාර ලබන තැනැත්තන් හාරලක්ෂ 16,667 ක් සඳහා රුපියල් 2,000 බැගින් ද ලබා දෙනු ඇති.

    Latest News