හෙට යළි මව් රටට යන "මුතූ"

ජූලි 01, 2023

    ‍තායිලන්තයේ පරිත්‍යාගයක් ලෙස මෙරටට ලැබුණු 'සක් සුරින්' හෙවත් 'මුතු රාජා' හස්තියා හෙට (02) යළි තායිලන්තයට රැගෙන යාමට නියමිත බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසනවා. ඒ තායිලන්තයේ සිට පැමිණෙන විශේෂ ගුවන් යානයකින්.

    ඒ අනූව, අද රාත්‍රී 9.00ට මුතුරාජා රැගත් ආරක්ෂිත රඳවනය දෙහිවල සත්වඋද්‍යානයේ සිට කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපලේ ගුවන් භාණ්ඩ මෙහෙයුම් පර්යන්තය වෙත ප්‍රවාහනය කිරීමට නිමිතයි.

    මුතුරාජා තායිලන්තයට ප්‍රවාහනය කිරීමට නියමිත රුසියාවේ නිශ්පාදිත ilyushin il 76 භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය මේ වනවිටත් කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපලට ළගා වී ඇති අතර මුතුරාජා අද රාත්‍රියේ ගුවන්තොටුපලට රැගෙන විත් ගුවන් ගමනට අදාල කටයුතු නිම කිරීමෙන් අනතුරුව පසුදා (02) උදෑසන 7.30ට තායිලන්තය බලා පියාසර කිරිමට නියමිතයි.

    2001 වසරේදී මෙම සක් සුරීන් නැමැති හස්තියා මෙරටට පරිත්‍යාගයක් ලෙස ලබාදීමට තායිලන්ත රජය පියවර ගෙන තිබුණි.

    එහෙත් මෙම හස්තියාගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින පිරිහීම හේතුවෙන් යළි තායිලන්තයට රැගෙන යාම සඳහා එරට රජය ලංකාවෙන් ඉල්ලීමක් කළේය.

    අලුත්ගම කන්දේ විහාරයේ රඳවා සිටි මෙම සක් සුරින් නැමැති හස්තියා තායිලන්තයට රැගෙන යාම සඳහා ඉල්ලා සිටීමෙන් අනතුරුව දෙහිවල සත්වෝද්‍යානයට රැගෙනවිත් තිබුණි.

    පසුගිය නොවැම්බර් මාසයේ දී සත්වෝද්‍යානයට රැගෙන ආ සක්සුරින් හස්තියාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමට තායිලන්ත පශු වෛද්‍ය කණ්ඩායමක් සහ ඇත් ගොව්වෙකු ලංකාවට පැමිණ සිටි අතර පසුගිය සතියේ ද තායිලන්තයේ පිරිසක් හස්තියාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා මෙරටට පැමිණ තිබුණි.

    මෙම වරලත් ගුවන් යානයේ නියමුවා, සහය නියමුවා, කාර්ය මණ්ඩලය 9 දෙනෙකු සහ මගීන් 05 දෙනෙකු ඇතුළත් වන අතර, එයට තායි හස්තින් පාලකයින් 3 දෙනෙකු, කොළඹ දෙහිවල සත්වෝද්‍යානයේ සිටින ශ්‍රී ලාංකික ඇත්ගොව්වෙකු සහ තායිලන්ත පශු වෛද්‍යවරයෙකු ඇතුළත් වනවා.

    කෙසෙල්, උක් සහ තණකොළ, පළතුරු ඇතුළු ආහාර කිලෝග්‍රෑම් 250 ක් පමණ රැගෙන යන අතර, පැය 5ක පියාසැරිය තුල ආතතිය දුරු කිරීම සඳහා මුතුරාජා ඒවා මගින් පෝෂණය කරනු ලබනවා.

    ගමනේ දී ඇතාගේ පාද හතර කූඩුවේ කොන්වල ගැටගසා ස්පොන්ජියකින් ආවරණය කර ඇත් දළවලට හානි නොවන ලෙස ආරක්ෂාකාරී පියවර ගෙන තිබෙනවා.

    අද දින මුතුගේ මෙම ගමනට අශිර්වාද කර පිරිත් දෙශනයක් පවත්වනු ලැබුවා.

    Latest News