දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය - විශේෂ විවාදය අද

ජූලි 01, 2023

    ස්වෛරීත්ව ණය තිරසරභාවය නැවත ඇති කිරීමට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව සම්බන්ධ විවාදය අද (1) ආරම්භ කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඊයේ (30) තීරණය කළා.

    ඒ අනූව, විවාදය පෙරවරු 9.30ට ආරම්භ වන අතර රාත්‍රී 7.30 දක්වා පැය 10ක කාලයක් පැවැත්වීමට නියමිත අතර ඡන්ද විමසීමක් ඉල්ලා සිටිය හොත් පමණක් සිදු කිරීමට නියමිත වේ.

    මේ සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) පස්වරු 2.00ට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස් වූ අතර, එහිදී මේ සම්බන්ධයෙන් වන තීරණ ගෙන ඇති බව පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය ප්‍රකාශ කළාය.

    දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලියට අදාළ විවාදය පැවැත්වීම වෙනුවෙන් පාර්ලිමේන්තුව කැඳවීම සඳහා අගමැතිවරයාගේ ඉල්ලීම පරිදි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය.

    දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් මුදල් පිළිබඳ කාරක සභාවේදී ද සාකච්ඡා කර ඇති අතර එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා එම කාරක සභාවේද අනුමැතිය හිමිව තිබෙනවා.

    ඒ අනුව මෙම විවාදය අද (1) දවස පුරා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වේ. මේ අතර ලබන සතියේ 4 වැනි අඟහරුවාදා පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වීමට මෙහිදී තීරණය වූ බවද මහලේකම්වරිය පැවසීය.

    මේ අනුව පාර්ලිමේන්තුව ලබන සතියේ 5, 6 සහ 7 යන තෙදින පමණක් රැස්වීමට නියමිතව තිබෙනවා.

    Latest News