ණය ප්‍රතිව්‍යුහගතකරණයේ දී තැන්පතුවලට කිසිදු බලපෑමක් නෑ - මහබැංකු අධිපති

ජූනි 29, 2023

    ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය යටතේ රටේ බැංකු පද්ධතියට, තැන්පත් කරුවන්ට හා තැන්පතුවලට කිසිදු බලපෑමක් නොවන අයුරින් ‍යෝජනා සකසා ඇති බව, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරනවා.

    සේවක අර්ථ සාධක අරමුදල ද ආරක්ෂා වන පරිදි එම යෝජනා හඳුන්වා දී ඇති බවයි, මහ බැංකු අධිපතිවරයා සඳහන් කරන්නේ.

    අද උදේ කොළඹ ජනාධිපති මාධ්‍ය අංශයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ හා මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් කරුණු පැහැදිලි කිරීමක් සිදු කළා. ඒ, කැබිනට් අනුමැතිය ලැබුණු දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනා පිළිබඳවයි. මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ, එම යෝජනා අනුව, මෙරට බැංකු පද්ධතිය තවදුරටත් පීඩනයට ලක් නොකරන බවයි. බැංකු පද්ධතියෙන් රජයට ලැබෙන මූල්‍ය සහය ඉතා ඉහළ මට්ටමක පවතින අතර, එමගින් ලැබෙන බදු ප්‍රතිශතය සියයට 50 ඉක්මවන බව, මහ බැංකු අධිපතිවරයා කියා සිටියා.

    ඒ අනුව, මිලියන 57 ක් වන බැංකු තැන්පතුකරුවන්ට බලපාන පරිදි ‍යෝජනා කිසිවක් ඉදිරිපත් කොට නැතැයි, ඔහු කියා සිටියා. එමෙන්ම, සේවක අර්ථ සාධක අරමුද‍ලේ ප්‍රතිලාභ එහි සාමාජිකයන්ට කිසිදු බාධාවකින් තොරව ඉදිරියටත් ලබා ගත හැකි බව, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කළා. එහිදී දැනට පවතින මුදල්, එහි සමාජිකයන් ප්‍රතිලාභ ලබා ගැනීමේදී කිසිදු කපා හැරීමක් හෝ අඩු කර ගැනීමක් සිදු නොවන බව, මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා කියා සිටියා. සේවක අර්ථ සාධක අරමුදල ලබා ගෙන ඇති බැඳුම්කර වෙනුවෙන් සියයට 9 ක පොලියක් ගෙවීමට රජය තීරණය කර තිබෙනවා. එය, වසර කිහිපයක් ක්‍රියාත්මක වන පරිදි සැලසුම් කොට ඇති අතර, සේවක අර්ථ සාධක අරමුදලේ භාරකාර මණ්ඩලය, රජය ඉදිරිපත් කර ඇති යෝජනා සලකා බලා සුදුසු ක්‍රියාවලියට එළඹෙනු ඇතැයි, මෙහිදී ප්‍රකාශ කෙරුණා.

    Latest News