ගයා රම්‍ය අල්විස් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට

ජූනි 29, 2023

    ජාතික රූපවාහිනියේ ජ්‍යේෂ්ඨ නිෂ්පාදකවරයෙකු සහ ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරයෙකු වූ අභාවප්‍රාප්ත ගයා රම්‍ය අල්විස් මහතාගේ දේහය, මේ වන විට ඒ මහතාගේ නිවසේ තැන්පත් ‍කර තිබෙනවා.

    දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට සවස ඇල්දෙණිය පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.

    මිය යන විට ඒ මහතා 51 වැනි වියේ පසු වුණා. ඔහු මෙරට ප්‍රවීන ගීත රචකයෙකු වූ ඩෝල්ටන් අල්විස් මහතාගේ බාල පුත්‍රයායි. හදිසියේ ‍ඇති වූ රෝගාබාධයක් හේතුවෙන් ඊයේ සවස රෝහල් ගත කිරීමෙන් පසුවයි, ඒ මහතා අභාවප්‍රාප්ත වුණේ. 1973 දී මෙලොව එළියදුටු ඔහු, කොළඹ - ඩී එස් සේනානායක විද්‍යාලයේ ආදි සිසුවෙක්. 1994 දී නිෂ්පාදක සහකාරව‍රයෙකු ලෙස ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ නාට්‍ය ඒකකයට ගයා රම්‍ය අල්විස් මහතා එක්වුණා. නාට්‍ය සහය අධ්‍යක්ෂවරයෙකු මෙන්ම, නිෂ්පාදකවරයෙකු ලෙස රාජකාරි කළ ඔහු, 1998 දී සිය ප්‍රථම ටෙලිනාට්‍ය ලෙස "මිරිඟු තෙර" අධ්‍යක්‍ෂණය කරමින් නාට්‍ය ක්‍ෂේත්‍රයට පිවිසුණා. "රන්සිරි මල්, කොළඹ -7" ඒ මහතා අධ්‍යක්‍ෂණය කළ ටෙලිනාට්‍ය අතර කැපිපෙනෙනවා. යුද්ධයෙන් පසු මායිම් ගම්මානවල ජනතාවගේ මානසිකත්වය ගොඩනැගීම සඳහා නිර්මාණය කළ "උත්තම පූජා" වැඩසටහන රම්‍ය අල්විස් මහතාගේ විශිෂ්ට නිර්මාණයක්. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ බාහිර කතිකාචාර්යවරයෙකු,  ග්‍රන්ථ කතුවරයෙකු, ගීත රචකයෙකු ලෙස සිය ප්‍රතිභාව විදහා දැක්වූ ඔහු, සම්මාන රැසක් ද හිමි කර ගෙන තිබෙනවා. මෑත කාලයේ රංගවේදීන් බිහිකිරීම සඳහා ජාතික රූපවාහිනිය ආරම්භ කළ "ඇක්ටින් ඇකඩමි" පාඨමාලාව ගයා රම්‍ය අල්විස් මහතාගේ සංකල්පයක්. එය ඉතා සාර්ථකව ක්‍රියාත්මක වනවා.

    Latest News