ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවට විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක්

ජූනි 28, 2023

    විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 4.00 ට පැවැත්වීමට නියමිතයි.

    ඒ, ජනාධිපති කාර්යාලයේදී.

    විදේශීය මෙන්ම, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව අද විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතයි. අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් අනතුරුව, ආණ්ඩු පක්ෂයේ රැස්වීමක් ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

    2022 වසර අවසන් වන විට මෙරට සමස්ත රාජ්‍ය ණය අමෙරිකානු ඩොලර් මිලියන 83,700 ක්. එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 128.3 ක් වනවා. 2022 වසර අවසන් වන විට සමස්ත විදේශ ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 41,500 ක් වන අතර, එය, දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 63.6 ක්. ඒ වන විට සමස්ත දේශීය ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 42,100 ක් වනවා. එය, දළ දේශීය නිෂ්පාදිතයෙන් 64.6 ක්.

    දේශීය ණය ප්‍රතිව්‍යුගත කිරීම මගින්, සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු කිසිදු මහජන අරමුදලකට බලපෑමක් එල්ල නොවන බවයි, ජනාධිපතිවරයා, ඊයේ අවධාරණය කර සිටියේ.

    ලබන සෙනසුරාදා පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වන බව, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයකින් දැනුම් දී තිබෙනවා. අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 ට අනුව, මෙම නිවේදනය කර තිබෙනවා.

    Latest News