විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවා කාලය, වයස 63 දක්වා දීර්ඝ කිරීමට තීරණයක්

ජූනි 28, 2023

    රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවා කාලය, වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇතැයි, නීතිපතිවරයා ඊයේ අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

    මීට අදාළ රිට් පෙත්සමක් සලකා බැලීමේ අවස්ථාවේදී එම දැනුම් දීම සිදු කරනු ලැබුවා. අදාළ පෙත්සම අද නැවත කැඳවන ලෙසද, අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළා.

    අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ, මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබුවා. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ‍නෙරීන් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කියා සිටියේ, ‍විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 63 දක්වා ඉහළ නැංවීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් තමන්ට උපදෙස් ලැබී ඇති බවයි.
    මීට අදාළව අමාත්‍ය මණ්ඩලය තීරණයක් ගැනීමට නියමිත බවද, ඔහු කියා සිටියා.

    විශේෂඥ වෛද්‍යවරුන් වයස අවුරුදු 60 දී විශ්‍රාම ගැන්වීමට අමාත්‍ය මණ්ඩලය විසින් ඉකුත් වසරේ දී තීරණයක් ගනු ලැබුවා. එම තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින්, විශේෂඥ වෛද්‍යවරුන් 176 දෙනෙකු මෙම රිට් පෙත්සම ගොනු කර තිබෙනවා. ඇතැම් විශේෂඥ වෛද්‍යවරුන් මේ මස 30 වැනිදා විශ්‍රාම ගැන්වීමට නියමිත බැවින්, මෙම පෙත්සම අද සලකා බැලීම නියමිතයි.

    Latest News