“ඩෙං ගෝ” ජාතික ව්‍යාපෘතිය ඇරඹේ

ජූනි 20, 2023

    ‍‍ඩෙංගු මදුරුවා බෝ වී වැළැක්වීමේ “ඩෙං ගෝ” ජාතික ව්‍යාපෘතිය, අද ආරම්භ කෙරුණා. ඒ, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ රෙකිට් ශ්‍රී ලංකා ආයතනය අත්වැල් බැඳගනිමින්.

    මේ වනවිට ශ්‍රී ලංකාවේ ඩෙංගු ව්‍යාප්තිය අධි අවදානම් තත්වයකට පත්ව තිබෙනවා. මෙම තත්වය හඳුනාගත්, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව රෙකිට් ශ්‍රී ලංකා ආයතනය සමග අත්වැල් බැඳගනිමින් ඩෙංගු මර්දන ජාතික වැඩසටහන අද ආරම්භ කළා.

    ඒ, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පරිශ්‍රයේදී. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ඩබ්ලිව්.බී. ගනේගල, අධ්‍යක්ෂ ජනරාල් අසංග ජයලත් සහ රෙකිට් ශ්‍රී ලංකා ආයතනයේ අලෙවි ප්‍රධානී, ශාමින්ද පෙරේරා, කාණ්ඩ සන්නාම කළමනාකාරිනී දේවින්දි හේවාබන්දුල යන මහත්ම මහත්මීන් විසින් මෙහිදී අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුවා.

    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ රෙකිට් ශ්‍රී ලංකා ආයතනය මාස 6 ක කාලයක් ඩෙංගු මර්දන ජාතික වැඩසටහන ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට මෙහිදී එකඟතාවය පළ කළා.

    ඒ අනුව, ශ්‍රී ලංකාවේ ‍ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගත් ප්‍රදේශ පිරිසිදු කිරීම සහ ජනතාව  දැනුවත් කිරීමේ වැඩසටහන් ඉදිරියේදී ක්‍රියාත්මක කරනු ඇති.

    ඒ සඳහා ජනමාධ්‍ය , සෞඛ්‍ය, මහජන ආරක්ෂක, අධ්‍යාපන, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන යන අමාත්‍යාංශවල ඍජු දායකත්වය ලබාදෙනවා. සමාරම්භක වැඩසටහනට රාජ්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පොලිස් නිලධාරීන්, පාසල් දරුවන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

    Latest News