කුරුන්දි විහාරය ගැන එල්ලාවල හිමියන්ගේ ලිපියට ජනාධිපති ලේකම්ගෙන් පිලිතුරක්

ජූනි 16, 2023

    කුරුන්දි විහාරයට අයත් රජයේ ඉඩම් වෙනත් අයට පවරා දීමට තීරණයක් ගෙන නැතැයි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පුරා විද්‍යා චක්‍රවර්ති ආචාර්ය පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් වෙත ලිපියක් යොමු කරමින් කියා සිටිනවා.

    එම ඉඩම් සම්බන්ධයෙන් මේධානන්ද හිමියන් ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියට පිළිතුරු ලෙසයි මෙය යවා තිබෙන්නේ.

    ලිපිය යොමු කර ඇත්තේ, ජනාධිපතිවරයාගේ උපදෙස් මතයි. පසුගිය ජූනි 8 වැනි දින ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා කුරුන්දි විහාරයට අයත් රජයේ ඉඩම් සම්බන්ධයෙන් කළ ප්‍රකාශය පදනම් කර ගෙන මේධානන්ද හිමියන් ජනාධිපතිවරයාට ලිපියක් යවා තිබුණා. එම ලිපියේ සඳහන්ව තිබුණේ, කුරුන්දි විහාරයට අයත් නොවන ඉඩම් ජනතාවට පවරා දීමට නියම කර ඇති බව තමන් මාධ්‍ය මගින් දැනගත් බවයි. එමෙන්ම, එම විහාරය අවට බෞද්ධ ආරාමවල නටඹුන් විසිරී ඇති හෙයින්, ඒවා බෙදාදීම නුසුදුසු බවත්, එම ලිපියේ සඳහන් කර තිබෙනවා.

    ඊට පිළිතුරු ලෙස මේධානන්ද හිමියන් වෙත යවා ඇති ලිපියේ සඳහන් වන්නේ, එම ඉඩම් වෙනත් අයට පවරා දීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි. ජුනි 8 වැනිදා පැවති රැස්වීමේදී කුරුන්දි විහාරය මෙන්ම, තිරියාය ප්‍රදේශයේ නටඹුන් පිළිබඳව සාකච්ඡා කළ බවත්, මාධ්‍ය මගින් විකාශය කිරීමේදී මෙම කරුණු පටලවා ඇති බවත්, ජනාධිපති ලේකම්වරයා එම පිළිතුරු ලිපියේ සඳහන් කර තිබෙනවා. කුරුන්දි විහාරය අවට කුඹුරු ඉඩම් කිහිපයක් සම්බන්ධයෙන් මතුවී ඇති ප්‍රශ්නය පිළිබඳව සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මුලතිව් දිස්ත්‍රික් ලේකම්වරයාට හා පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දී ඇති බවත් එම පිළිතුරු ලිපියේ සඳහන්. රජයේ අපේක්ෂාව වන්නේ, පුරා විද්‍යා වටිනාකමින් යුත් ස්ථාන මෙන්ම, ඉඩම්ද හඳුනාගෙන ඒවා දිස්ත්‍රික් ලේකම්වරයාගේ භාරයේ තැබීම බවත් ජනාධිපති ලේකම්වරයා එම ලිපියෙන් අවධාරණය කරනවා.

    Latest News