ඩෙංගු මර්ධන ජාතික වැඩසටහන ලබන 16

ජූනි 12, 2023

    ඩෙංගු මර්ධන ජාතික වැඩසටහන ලබන 16 වැනිදා ආරම්භ වනවා.

    “ඩෙංගෝ” ලෙස නම් කර ඇති වැඩසටහන, ජාතික රූපවාහිනිය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මකයි.

    මෙම වසර තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 43,946 දෙනෙකු හමුවී තිබෙනවා. ඉන් 28 දෙනෙකු මියගියා. පවතින වර්ෂාපතනයත් සමග කොළඹට අමතරව පුත්තලම, කෑගල්ල, කුරුණෑගල යන දිස්ත්‍රික්කවලද ඩෙංගු ‍රෝගීන්ගේ සැලකියයුතු වැඩිවීමක් පෙන්නුම් කරනවා. සමස්ත රෝගීන්ගෙන් සියයට 25 ක් පාසල් දරුවන් වන අතර, මේ නිසා අද දින පාසල් ආරම්භ වීමත් සමග පාසල් ආශ්‍රිතව ද ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වැදගත් බවයි, ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙන්නේ. පරිශ්‍ර ඩෙංගු මදුරුවන් බෝ වීම වලක්වාගැනීම සඳහා නීති දැඩිව ක්‍රියාත්මක කිරීමට ද අවධානය යොමුවී තිබෙනවා.  ඒ සඳහා මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන් දැනුවත් කර ඇති බවත්, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂ ‍විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පවසනවා.

    ඩෙංගු මර්ධන ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡාවක්, ජාතික රූපවාහිනී පරිශ්‍රයේදී අද පැවැත්වුණා. ලබන 16 වැනිදා ජාතික රූපවාහිනිය, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හා ජාතික චිත්‍රපට සංස්ථාව කේන්ද්‍ර කර ගනිමින්, පෙරවරු 9.30 ට වැඩසටහන ආරම්භ කෙරෙනවා. අනතුරුව, සති දෙකකට වරක්, පාසල් 11 ක් පාදක කර ගනිමින්, දිවයින පුරා වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙනු ඇති. පෙරවරුවේ දැනුවත් කිරීමේ වැඩසටහනකින් ද සවස, ඩෙංගු මර්දන වැඩසටහනකින් ද එය සමන්විතයි. මෝටීන් වෙළෙඳනාමය සහිත “‍රෙකිට්ස්” සමාගම, මේ සඳහා අනුග්‍රහය දක්වනවා. මේ අතර, ඩෙංගු මඳුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන යන අයට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව, පොලිසිය මෙහිදී කියා සිටියා. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ඩබ්ලිව් බී ගනේගල මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාව පැවැත්වුණා. රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් අසංග ජයලත්, ජනමාධ්‍ය, සෞඛ්‍ය, මහජන ආරක්ෂක, අධ්‍යාපන, රාජ්‍ය පරිපාලන යන අමාත්‍යාංශ සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන රැසක නිලධාරීන් මීට එක්ව සිටියා.

    Last modified on සදුදා, 12 ජූනි 2023 19:46

    Latest News