වරාය නැගෙනහිර පර්යන්තයේ දෙවන අදියරේ වැඩ ඇරඹේ

මැයි 23, 2023

    ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් මේ වසර අවසන් වීමට පෙර නිම කරන බව, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා. ඒ අනුව, වෙළෙඳ, නාවික මෙහෙයුම් කටයුතු සඳහා කඩිනමින් පරිහරණය කිරීමට හැකි වන   බවයි, අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

    නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතුවල දෙවැනි අදියරේ මුහුදු යට ඉදිකෙරෙන ගල්වැටියේ ඉදිකිරීම් ඊයේ (22) ආරම්භ කෙරුණා.

    එම කටයුතු සොයා බැලීම සඳහා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. එම පර්යන්තයේ පළමු අදියර යටතේ මීටර 600 ක් ඉදි කර අවසන්. එහි, දෙවැනි අදියර යටතේ ‍මීටර 720 ක් ඉදිකිරීමට නියමිතයි.

    සමස්ත පර්යන්තයේ දිග මීටර 1,320 ක් වන අතර, පර්යන්තයෙහි ගැඹුර පළමු මීටර 700 තුළ මීටර 18 ක් වන අතර, ඉන් පසුව මීටර 20 ක් වනවා. පර්යන්තය ඉදි වූ පසු එහි භූමිය හෙක්ටයාර 57 ක්. එය ස්වයංක්‍රීය මෙහෙයුම් පද්ධතියක් මගින් ක්‍රියාත්මක කෙරෙනවා.

    ව්‍යාපෘතියේ සම්පූර්ණ ආයෝජන වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 230 ක්. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අරමුදල් මෙම ව්‍යාපෘතියට යොදවනු ලබනවා.

    පර්යන්තය ඉදිකිරීමෙන් පසු එහි බහාලු‍ මෙහෙයුම් ධාරිතාව මිලියන 3 ක්. රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

    Latest News