ලොවපුරා බෞද්ධයින් සමරණ වෙසක් තෙමඟුල අදයි

මැයි 05, 2023

    ‍සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, බෝසතාණන්වහන්සේ බුද්ධත්වයට පත්වීම සහ සම්බුද්ධ පරිනිර්වාණය ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ වෙසක් පුර පසළොස්වක පොහොය අදයි.

    ලොව පුරා සැදැහැවතුන් සම්බුදු තෙමඟුල සමරමින් ආගමික වතාවත්වල නිරත වුණා.

    බුදුවරයෙකු ලොව පහළ වීම කල්ප කණනාවකින් සිදු වන දුර්ලභ හා උත්තරීතර සිද්ධියක් බව, බෞද්ධ දර්ශනයේ පිළිගැනීමයි. කිඹුල්වත්පුර ලුම්බිණි සල් උයනේ දී වෙසක් පොහෝ දින උත්පත්තිය ලැබූ සිදුහත් කුමරු, චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගනිමින් සම්මා සම්බුද්ධත්වයට පත්වූයේ ද අද වැනි දිනකයි. උන්වහන්සේ මිනිස් වර්ගයාට ජීවිතාවබෝධය ලබා දී නිර්මාණ මාර්ගය පෙන්වා දී තිබෙනවා. බෝසතාණන් වහන්සේ දීපංකර බුදුරදුන්ගෙන් නියත විවරණ ලැබීම, බුදුරජාණන් වහන්සේ කිඹුල්පත් පුරයට වැඩම කිරීම, ශාඛ්‍යයන්ගේ මානය බිඳලීමට යමාමහ පෙළහර පෑම, තෙවැනි ලංකා ගමනය හා සමනෙළ ගිරි සිරස මත සිරිපා සළකුණ සටහන් කිරීම, වෙසක් පොහොය දින හා බැඳුණු තවත් වැදගත් සිදුවීම් කිහිපයක්. පන්සාළිස්වසක් ශ්‍රී සද්ධර්මය දේශනා කළ බුදුරජානන් වහන්සේ, කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවත්තන සල් උයනේ දී පරිනිර්වාණයට පත් වුයේද, අද වැනි වෙසක් පොහෝ දිනකයි. බුද දහමින් පොෂණය වූ ලක්වැසියන් අතීත රජ දවසේ සිට ශ්‍රද්ධා පෙරදැරිව වෛශාක්‍ය මංගල්‍යය උත්සවශ්‍රීයෙන් සමරනවා.

    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සංවිධාන කරන සද්ධර්ම වර්ෂා පෝය සජීව විකාශය හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ සිට සිදු කෙරෙනවා. බුද්ධ පූජා, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා ඇතුළු වැඩසටහන් රැසක් අද දවස පුරා පැවැත්නෙවා. ඒ විහාරාධිකාරී පූජ්‍ය ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජී ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන්. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ඩබ්ලිව් බී ගනේගල මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියා.

    අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සෑම පුර පසළොස්වක පොහෝ දිනකම සංවිධාන කෙරෙන "ධර්ම දීපනී සද්ධර්ම" ධර්ම දේශනා මාලාව අද කොල්ලුපිටිය වාලුකාරාම විහාරස්ථානයේදී  පැවැත්වුණා. රත්නමලාන පරමධම්ම චේතිය පිරිවෙනේ අධ්‍යක්ෂ මහා විහාරවංශික ශ්‍යාමෝ‍පාලී මහා නිකායේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ නියෝජ්‍ය‍ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මාඉටිපේ විමලසාර ස්වාමීන් වහන්සේ විසින් ධර්ම දේශනාව පවත්වනු ලැබුවා.

    Latest News