පාසල් සිසුන් ප්‍රාණ ඇපකරුවන් බවට පත්කර ගැනීමට ඉඩ නොතබන බව, ජනපති පවසයි

අප්‍රේ 19, 2023

    පාසල් සිසුන් විවිධ කණ්ඩායම්වල ප්‍රාණ ඇපකරුවන් බවට පත් කර ගැනීමට කිසිසේත් ඉඩ ‍නොතබන බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.

    අමාත්‍යාංශ කිහිපයක 2023 වර්ෂයේ ක්‍රියාත්මක කරන ලද විශේෂ අයවැය යෝජනාවල ප්‍රගතිය සමාලෝචනය වෙනුවෙන් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.  අධ්‍යාපන හා උසස් ‍අධ්‍යාපන කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශවල ප්‍රගතිය සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කෙරුණා.

    උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම සම්බන්ධයෙන් මෙම සතිය අවසන් වීමට ‍පෙර විකල්ප යෝජනා හා විසඳුම් ඇතුළත් නිශ්චිත වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන ලෙස, ජනාධිපතිතුමා මෙහිදී අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. විභාග කටයුතු හදිසි ‍සේවාවක් ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය නීති සම්පාදනය කිරීමට ද අපේක්ෂා කරන බවයි, ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ.

    පසුගිය වසරේ පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා සම්බන්ධ වූ කණ්ඩායමම යොදා ගනිමින් මෙවර උසස්පෙළ පිළිතුරු පත්‍ර ඇඟයීම් කටයුතු සිදු කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නා.  එම කටයුතු සඳහා සහභාගී නොවුනහොත්, අදාළ පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට අපේක්ෂා කරන බවත්, ඒ පිළිබඳව නීතිපතිවරයා සමග ද සාකච්ඡා කරන බවත්, ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.

    අධ්‍යාපන අමාත්‍යවරයා මේ සම්බන්ධව කර ඇති ප්‍රකාශය පිළිබඳවද අවධානය යොමු කර, ඒ අනුව ඉදිරි කටයුතු සැලසුම් කරන ලෙසද ජනාධිපතිවරයා අධ්‍යාපන බලධාරීන්ට දැනුම් දුන්නා. උසස් පෙළ සහිත පාසල්වලට සහ අනතුරුව සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපන පහසුකම් ඇති සියලු පාසල්වලට වසර දෙකක් තුළ අන්තර්ජාල පහසුකම් ලබා දීමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ද, ජනාධිපතිවරයා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට උපදෙස් ලබා දුන්නා. රාජ්‍ය නිලධාරින් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

    Latest News