දුෂ්කර කාලසීමාව පසුකරන්න ලංකාවට IMF සහය දෙනවා

අප්‍රේ 12, 2023

    ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දුෂ්කර කාලසීමාව පසු කිරීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදල පූර්ණ සහය ලබා දෙන බව එහි කළමණාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ‍ජෝර්ජිවා මහත්මිය පවසනවා.

    රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා හමුවූ අවස්ථාවේ ඇය මේ බව කියා සිටියා. රාජ්‍ය අමාත්‍යවරයා අමෙරිකාවේ වොෂින්ටන් නුවරදී ක්‍රිස්ටලීනා ජෝර්ජිවා මහත්මිය හමුවූයේ අන්තර්ජාතික මූල්‍ය අරමුලේ සහ ලෝක බැංකුවේ විශේෂ රැස්වීමක් අතරතුරදී.

    මේ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබෙනවා. ඔහු සඳහන් කර ඇත්තේ, අන්තර්ජාතික මූල්‍ය අරමුදල ලබාදුන් සහය පිළිබඳව ශ්‍රී ලංකා රජයේ ස්තුතිය පළ කළ බවයි.

    ණය තිරසරභාවය ඇති කිරීමට සහ ආර්ථික ස්ථාවරත්වය ප්‍රතිස්ථාපනය කිරීමට කැපවී සිටින අතර, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩසටහන් නිසි පරිදි ක්‍රියාත්මක කිරීමටද කැපවී සිටින බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

    අර්බුදයෙන් උගත් පාඩම් මත පදනම්ව අන්තර්ජාතික හවුල්කරුවන්ගේ සහයෝගය සහ විශ්වාසය ඇතිව සමෘද්ධිමත් රටක් ගොඩනැගීමට ශ්‍රී ලංකා රජය කැපවී සිටින බවද රාජ්‍ය අමාත්‍යවරයා ජෝර්ජිවා මහත්මිය හමුවේ පවසා තිබෙනවා.

    Latest News