අවුරුද්දට ගෙදර යන්න වැඩිපුර ගමන් වාර 300ක්

අප්‍රේ 10, 2023

    සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් ගම් බිම් බලා යන ජනතාවගේ පහසුව වෙනුවෙන් කොළඹ මධ්‍යම බස් නැවතුමෙන් අද (10) සිට අතිරේක බස් ගමන් වාර 300ක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් පවසනවා.

    'නගරයෙන් ගමට හා ගමෙන් නගරයට' මැයෙන් මෙම මස 7 සිට 17 දක්වා දින 10ක් තුළ ලංගම මඟින් විශේෂ මගී ප්‍රවාහන වැඩපිළිවෙළක් සකස් කළ බවත්, ඒ යටතේ ක්‍රමානුකූලව වැඩිකළ අතිරේක බස් ගමන් වාර ප්‍රමාණය 10, 11 හා 12 යන තෙදිනේ දී 300ක් දක්වා වැඩි කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.

    මෙයට අමතරව දිවයිනේ සෑම ඩිපෝවක් මඟින්ම අතිරේක ගමන් වාර ක්‍රියාත්මක කෙරෙන බවත් ඉන්දීය ණය ආධාර යටතේ හිමිවූ බස් රථ කඩිනමින් බෙදා දීමට පියවර ගනු ලැබුවේ එම වැඩපිළිවෙළ වඩාත් සාර්ථක කර ගැනීමේ අරමුණින් බවත් ඔහු පවසනවා.

    ඉන්දියාවේ සිට ගෙන්වන ලද බස් රථ රේගුවෙන් නිදහස් කර ගැනීම, ලියාපදිංචි කිරීම හා අංක තහඩු ලබා ගැනීම දින 10 ක් වැනි කෙටි කාලයක් තුළ කර ගැනීමට හැකි වූ බව ද ඔහු ප්‍රකාශ කළේය.

    අලුයම් කාලයේ සහ රාත්‍රී 8.00 න් පසු මගී ජනතාවට ප්‍රවාහන සේවා සපයන්නේ ලංගම බවත් මේ ආකාරයේ සේවයක් සිදු කිරීම නිසා ලංගම පාඩු ලබන බව භාණ්ඩාගාර නිලධාරීන් මෙන්ම රටේ මහජනතාව තේරුම් ගත යුතු යැයි ද හෙතෙම ප්‍රකාශ කළේය.

    Latest News