ඩිජිටල්කරණය වූ නවීන ශ්‍රී ලංකාවක්

මාර් 31, 2023

    ඩිජිටල්කරණය වූ නවීන ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට තමන් ප්‍රමුඛ රජය කැපවී සිටින බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

    ඩිජිටල්කරණය වේගවත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත් කිරීමට කටයුතු කරන බවයි, ජනාධිපතිතුමා කියා සිටියේ.

    "Digiecon 2030" එළිදැක්වීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. උත්සවය පැවැත්වුණේ, අරලියගහ මන්දිරයේ දී. එය සංවිධාන කරනු ලැබුවේ, තාක්‍ෂණ අමාත්‍යාංශය විසින්. ජනාධිපතිවරයාගේ සංකල්පයකට අනුව එළිදැක්වූ "Digiecon 2030" ඩිජිටල් ආර්ථිකයක් කරා ශ්‍රී ලංකාව යන ගමනේ සුවිශේෂි සන්ධිස්ථානයක්. මෙමගින් අලුතින් විවිධ ක්‍ෂේත්‍රවල ආරම්භ වූ නව්‍ය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 50 දෙනෙකුට පමණ ගෝලීය ආ‍යෝජන හා වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීම සඳහා වේදිකාවක් සපයනු ලබනවා.

    විශ්වවිද්‍යාල හා අනෙකුත් පර්යේෂණ ආයතන ඒකාබද්ද කර, ඩිජිටල් ප්‍රතිපත්තිය සැලසුම් කිරීම ආරම්භ කිරීම සඳහා මේ වසරේ රුපියල් මිලියන 100 ක් වෙන් කර තිබෙනවා. එමෙන්ම, කෘතීම බුද්ධිය පිළිබඳ ප්‍රමුඛ අවධානය යොමු කරමින් පර්යේෂණ සිදු කරීමට ලබන වසරේ රුපියල් බිලයනයක් වෙන් කිරීමට කටයුතු කරනවා. ඉතා වේගයෙන් දියුණු වන කලාපයක් ලෙස විශේෂයෙන් දකුණු ඉන්දියාව සමග එක්ව කටයුතු කිරීම, ශ්‍රී ලංකාවට වාසිදායකයි. ඉතා තරගකාරි ආර්ථිකයක් නිර්මාණය කළ හැක්කේ, හරිත ආර්ථිකයක් මෙන්ම, ඩිජිටල් ආර්ථිකයක් තුළින්. ගෝලීය වශයෙන් තරගකාරි වීමට සහ තිරසර ආර්ථික වර්ධනයක් ඇති කිරීමට නව තාක්‍ෂණයන් සහ නව්‍ය විසඳුම් වැළඳ ගත යුතුයි. එම ඉලක්ක සාක්ෂාත් කර ගැනීම මෙන්ම, ශ්‍රී ලංකාව සැබෑ ඩිජිටල් ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීම කෙරෙහි රජය අවධානය යොමු කර ති‍බෙන බව, "Digiecon 2030" විසින් සහතික කරනු ලබනවා.

    Latest News