පාර්ලිමේන්තුව පැවැත්වෙන දින ගැන නිවේදනයක්

මාර් 27, 2023
    එළඹෙන පාර්ලිමේන්තු සතියට අදාළව ලබන අප්‍රේල් 4 වැනි අගහරුවාදා පමණක් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
    කථානායක  මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (24) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ බව තීරණය වී තිබේ.
    මේ අනුව පාර්ලිමේන්තුව අප්‍රේල් 4 වැනිදා පෙ.ව 9.30 ට රැස්වන අතර පෙ.ව 9.30 - පෙ.ව 10.30 කාලය වෙන් කර ඇත්තේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහායි.
    අනතුරුව පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා සෙස් බද්ද සංශෝධනය කිරීමට අදාළව 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ අංක 2306/15 දරන ගැසට් පත්‍රයේ පළ කළ නියෝගයක් සහ 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2320/46 සහ 2320/47 යන ගැසට් පත්‍රවල පළ කර ඇති රෙගුලාසි ද්විත්වයක් විවාදයට ගෙන අනුමතිය ලබා ගැනීමට නියමිතව තිබේ.
    ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන් කර ඇත.
    තවද 2023 අප්‍රේල් 18 සිට 22 දක්වා යෙදෙන අප්‍රේල් මාසයේ දෙවැනි පාර්ලිමේන්තු සතිය වෙනුවට අප්‍රේල් 25 වැනි අගහරුවාදා සිට අප්‍රේල් 28 වැනි සිකුරාදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට ද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව මහලේකම්වරයා පැවසීය.

    Latest News