අප්‍රේල් 25 පුංචි ඡන්දය පැවැත්වීම ගැන සාකච්ඡාවක් අද

මාර් 23, 2023

    පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර විශේෂ සාකච්ඡාවක් අද (23) පැවැත්වීමට නියමිතව ඇත.

    පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අප්‍රේල් මස 25 වන දින පවත්වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙහිදී අවසන් එකඟතාවයකට පැමිණීමට නියමිතව ඇති බව වාර්තාවේ.

    මුදල් ප්‍රතිපාදන නිකුත් නොකිරීම හේතුවෙන් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට හැකියාව ලැබී නොමැති බව රජයේ මුද්‍රණාලය පසුගියදා මැතිවරණ කොමිසමට දැනුම් දී තිබුණි.

    ඒ අනුව නියමිත දිනට තැපැල් ඡන්ද පත්‍රිකා ලබාදීමට හැකියාවක් නොමැති බව රජයේ මුද්‍රණාලය මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇත.

    පවතින තත්වය හමුවේ මේ වනවිට දින නියම කර ඇති පරිදි මාර්තු මස 28 වන දින සිට තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු ආරම්භ කිරීමට නොහැකි තත්ත්වයක් මතුව තිබේ.

    මැතිවරණ කොමිෂන් සභාව පෙන්වාදෙන්නේ ඒ අනුව මැතිවරණය ද අප්‍රේල් මස 25 වන දින පැවැත්වීමට හැකියාවක් නොමැති බවයි.

    පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා වෙනත් දිනයක් ප්‍රකාශයට පත් කරන්නේ ද එසේත් නැතිනම් මැතිවරණ දිනයක් ප්‍රකාශ කිරීම සඳහා තවත් කල් ලබාගන්නේ ද යන්න පිළිබඳව අද දිනයේ පක්ෂ ලේකම්වරුන් සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව තීරණය කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේය.

    Latest News