ඩයනා ගමගේගේ පැමිණිල්ල අද කැඳවයි

නොවැ 03, 2022

    ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ උප්පැන්න සහතිකය, ජාතික හැදුනුම්පත සහ විදේශ ගමන් බලපත්‍රය පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පැමිණිල්ලට අදාළ නඩු කරය ඉකුත් 27 වනදා විවෘත අධිකරණයේ කැඳවන ලෙස තමන් නීතිඥවරුන්ට උපදෙස් ලබා දීමක් සිදු නොකළ බව එම සිද්ධියේ මුල් පැමිණිලිකරු වන සමාජ ක්‍රියාකාරිකයෙකු වූ ඔෂල හේරත් මහතා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.



    මෝසමක් ගොනු කරමින් අධිකරණය හමුවේ කරුණු දැක්වූ පැමිණිලිකාර ඔෂල හේරත් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මංජු ශ්‍රී චන්ද්‍රසේන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සමගි ජන බලවේගයේ යැයි සදහන් නීතිඥවරු කණ්ඩායමක් මෝසමක් ගොනු කරමින් මෙම සිද්ධියට අදාළ නඩු කරය ඉකුත් දා අධිකරණය හමුවේ කැඳවා ඇති බව තම සේවාදායකයා ජනමාධ්‍ය ඔස්සේ දැනගත් බව කියා සිටියා.

    එම නඩු කරය එදින මෝසමක් මාර්ගයෙන් කැඳවන ලෙස තම සේවාදායකයා අදාළ නීතිඥවරුන්ට උපදෙස් ලබා දීමක් සිදුකර නොමැති බවත් නීතිඥ චන්ද්‍රසේන මහතා අධිකරණය හමුවේ සඳහන් කළා.

    කෙසේ වෙතත් තමන් සිදු කළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම පිළිබඳව තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බවත් එම විමර්ශන කඩිනමින් අවසන් කිරීම අවශ්‍ය බවත් පැමිණිලිකාර ඔෂල හේරත් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වරයා කියා සිටියා.

    කරුණු පරීක්ෂා කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා සඳහන් කළේ මෙය පුදුම සහගත කටයුත්තක් බවයි.

    වෙතත් පැමිණිලිකාර ඔෂල හේරත් මහතා විසින් ඉදිරිපත් කළ කරුණු සටහන් කර ගන්නා බවත් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළා.

    නීතිඥවරු කණ්ඩායමක් විසින් ඉකුත් 27 වනදා ගොනුකළ මෝසමක් සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා විසින් මෙම පැමිණිල්ලට අදාළ විමර්ශන පිළිබඳ කරුණු දැක්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති වරයාට ලබන 10 වනදා අධිකරණයේ පෙනී සිටින්නැයි දන්වා නොතීසි නිකුත් කර තිබුණා.

    Latest News