චීනයෙන් රුපියල් බිලියන 1.8 ක ඖෂධ තොගයක්

ඔක් 28, 2022

    චීනය ඊයේ මෙරටට රුපියල් බිලියන 1.8 ක වටිනාකමකින් යුත් ඖෂධ තොගයක් පරිත්‍යාග කළා.

    ශ්‍රී ලංකාවේ චීන තානාපති කියු ෂෙන්හොං මහතා, විසින් ඖෂධ තොගය, සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත නිල වශයෙන් බාර දෙනු ලැබුවා.

    වකුගඩු, ජලභීතිකා, පෙනහළු ආසාදන, පිළිකා ආදී රෝග සඳහා මෙන්ම, ප්‍රතිශක්තිකරණ ඖෂධ තොගයක් මීට අයත්. ඖෂධ තොගය
    ශ්‍රී ලංකාවට හිමි වූයේ, චීන මානුෂීය ආධාර වැඩසටහනේ දෙවැනි අදියරේ දෙවැනි කොටස ලෙසයි. ඒ අනුව, දෙවැනි කොටස යටතේ, රුපියල් බිලියන 3 ක ඖෂධ ලැබී තිබෙනවා. ඉදිරියේදී තවත් ඖෂධ වර්ග 17 ක් මෙරටට ලැබීමට නියමිතයි.
    මේ අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ පැවති සාකච්ඡාවකදී අනාවරණය කෙරුණේ, ඉදිරි මාස කිහිපය තුළ විවිධ ක්‍රම‍වේද ඔස්සේ ඖෂධ වර්ග 231 ක් මෙරටට ලැබීමට නියමිත බවයි.

    ගෝස්, පුළුන්, සේලයින්, ඩෙක්රොස්, ජලභීතිකා ඖෂධ, සර්ප විෂ සඳහා ලබා දෙන ඖෂධ, දරු ප්‍රසූතියෙන් පසු රුධිර වාහනය නැවැත්වීමට ලබා දෙන ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ වර්ග රැසක් මේ වන විට රට තුළ පවතින බව, වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ඩී ආර් ‍කේ හේරත් මහතා සාකච්ඡාවේදී සඳහන් කළා. විශේෂයෙන් පිළිකා රෝගීන්, ගර්භණී මවුවරුන්, හෘද රෝගීන් ඇතුළු විශේෂ රෝගී තත්වයන් පිළිබඳ සැලකිලිමත් වෙමින් පූර්ව සූදානමකින් කටයුතු කරන ලෙස, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා‍ මෙහිදී නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නා.

    Latest News