අහුංගල්ල වෙඩි තැබීම් සිද්ධියේ තවත් සැකකරුවෙකු STF අත්ඩංගුවට

ඔක් 27, 2022

    පසුගිය (2022.10.12) දින අහුන්ගල්ල RIU හෝටලය ඉදිරිපිට වෙඩි තැබීමේ සිද්ධියේ තවත් සැකකරුවෙකු විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

    එම සිද්ධියේ දී ගාල්ල-කොළඹ ප්‍රධාන මාර්ගයේ දී T56 ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා තැත් කිරීමේ සම්බන්ධයෙන් ආධාර අනුබල දීමේ වරදට සැකපිට අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

    විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් 1 හි නිලධාරින්ට ලද බුද්ධි තොරතුරකට අනුව ඊයේ (26) දින අහුංගල්ල පොලිස් වසමේ තුඩුව පන්සල ඉදිරිපිට සුගත වැඩිහිටි නිවස තුල දී වැටලීමක් සිදුකර ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අහුන්ගල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. මෙම සැකකරු අහුංගල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27 ක පුද්ගලයෙකි.

    මෙම අත්අඩංගුවට ගත් සැකකරු සංවිධානාත්මක අපරාධකරුවකු වන දැනට විදෙස් ගතව සිටින ලොකු පැටී නැමැත්තාගේ මෙහෙයවීම මත පසුගිය 12 වන දින අහුංගල්ල ප්‍රදේශයේ තට්ට කුමාර නැමැති අනුවර්ථන නාමයෙන් හදුන්වනු ලබන පුද්ගලයා ඝාතනය කිරීම සදහා පැමිණි පුද්ගලයින් දෙදෙනා සැකකරුගේ නිවස වෙත රැගෙන ගොස් ඝාතනය සිදු කිරීම සදහා පැමිණෙන ලද මෝටර් රථයේ අංක තහඩු මාරු කර ව්‍යාජ අංක තහඩු යොදා ලොකු පැටී සමගින් සම්බන්ධීකරණය වෙමින් එම වෙඩි තැබීම සදහා යොදා ගන්නා ලද ටී 56 වර්ගයේ ස්වයංක්‍රීය ගිණි අවිය අහුංගල්ල ප්‍රදේශයේ අතුරු මාර්ගයකදී ලබාගෙන වෙඩික්කරුවන් වෙත ලබා දී තට්ට කුමාර නැමැත්තා වෙඩික්කරුවන් හට පෙන්වා දී ඇත.

    වෙඩි තැබීමෙන් පසු ඒ සදහා යොදාගත් ගිණි අවිය හා මෝටර් රථය ලොකු පැටීගේ දැනුම්දීම මත මෙම සැකකරු විසින් වෙනත් පාර්ශවයක් වෙත ලබා දී වෙඩික්කරුවන් හට පලා යාම සදහා මග පෙන්වීම සිදු කිරීම මගින් මෙම සැකකරු තට්ට කුමාර නැමැත්තා ඝාතනය කිරීම සදහා අනුබල දීම සිදු කර ඇත.

    Latest News