මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම හෙටට කල්යයි

ඔක් 10, 2022

    තමන් වෙත නිකුත් කර තිබෙන සිතාසිය බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ගොනුකර තිබෙන රිට් පෙත්සම සලකා බැලීම හෙට දින දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියෝග කළා.

    ඒ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ගොනු කර තිබෙන පුද්ගලික පැමිණිල්ලට අදාළව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා මෙම සිතාසිය නිකුත් කර තිබුණා.

    මෙම පෙත්සම අද අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරු ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එම පෙත්සම අද දින සලකා බැලීමට නියමිතව තිබුණත් එය අද කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් රොහන්ත අබේසූරිය මහතා ඇතුළු වගඋත්තරකරුවන් කිහිපදෙනෙකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සඳහන් කළේ මෙම නඩුවට අදාළ ලේඛන තමන් වෙත ලැබුණේ සති අන්තයේ බවයි.

    ඒවා අධ්‍යයනය කර කරුණු දැක්වීම සඳහා දිනයක් ලබාදෙන ලෙසත් එම නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

    ඒ අනුව පෙත්සම සලකා බැලීම හෙට දින දක්වා කල් තැබීමට අධිකරණය නියෝග කළා.

    සිරිල් ගාමිණි පියතුමා සහ පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයෙක් වූ බවට පත්වූ පුද්ගලයෙකු විසින් ඉදිරිපත් කළ පුද්ගලික පැමිණිල්ලක් සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය එහි වගඋත්තරකරු ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඔක්තෝම්බර් මස 14 වනදා අධිකරණයේ පෙනී සිටින මෙන් දන්වා සිතාසි නිකුත් කර තිබෙනවා.

    මෛත්‍රිපාල සිරිසේන මහතා අභියාචනාධිකරණය හමුවේ ගොණු කර තිබෙන රිට් පෙත්සම මගින් සඳහන් කර තිබෙන්නේ ප්‍රවාදක සාක්ෂි සා නීති විරෝධී කරුණු පදනම් කර ගනිමින් අදාළ පුද්ගලික පැමිණිල්ල ගොනු කර ඇති බවයි.

    එම ප්‍රවාදක සාක්ෂි පදනම් කරගෙන තමන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කර තිබෙන සිතාසිය ද නීතියට පටහැණි බව පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.

    ඒ අනුව තමන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් අධිකරණයේ පෙනී සිටින්නැයි දන්වා නිකුත් කර තිබෙන සිතාසිය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර මෛත්‍රීපාල සිරිසේන මහතා අභියාචනාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

    Latest News