තඹුත්තේගම බැංකු මංකොල්ලයට ප්‍රා.සභා සභිකයෙක් අත්අඩංගුවට (වීඩියෝ)

සැප් 27, 2022
  • තඹුත්තේගම නගරයේ පෞද්ගලික බැංකුවක් ඉදිරිපිට දී රුපියල් ලක්‍ෂ 223ක මුදලක් කොල්ලකා, පලා යාමට තැත් කළ සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම ප්‍රාදේශීය සභාවේ සභිකයෙකු ‍අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් සිව්දෙනෙකු මේ  වන විට අත්අඩංගුවේ පසු වන බවයි, පොලීසිය පවසන්නේ.

    ව්‍යාපාරිකයෙකු, බැංකු‍වේ තැන්පත් කිරීමට මෝටර් රථයකින් රැගෙන ආ  මුදල් සහිත බෑගය, පැහැර ගෙන යාමට යතුරු පැදියකින් පැමිණි සන්නද්ධ පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ දහවල් 1‍.00 ට පමණ උත්සහ කළා.

    මුදල් බෑගය රැගෙන යළි පලායාමට තැත් කළ සැකකරුවන් දෙදෙනා දුටු කාන්තාවක් කෑ  ගැසීම  නිසා ඒ අසලින් තවත් යතුරු පැදියකින් ගමන් ගත් තඹුතේගම පොලීසියේ විවිධ පැමිණිලි අංශයේ පොලිස් සැරයන් බුද්ධික කුමාර මහතා එම ස්ථානයට පැමිණ තිබුණා.

    කොල්ලකරුවෙකු, බෝර 12 වර්ගයේ ගිනි අවයක් සැරයන්වරයාගේ ශරීරයට එල්ල කර, වෙඩි තැබීමට උත්සහ කළ ද අවිය ක්‍රියාත්මක වී නැති බවයි, පොලීසිය පවසන්නේ.

    ක්‍ෂණිකව ප්‍රතිචාර දැක්වූ පොලිස් සැරයන්වරයා නිර්භීතව ක්‍රියා කරමින් ආයුධ සන්නද්ධ සැකකරුවන් දෙදෙනා මෙල්ල කර ගැනීමට සමත් වුණා. එම අවස්ථාවේ සැරයන්වරයාට අවට සිටි ජනතාවගේ ද සහය හිමි වී තිබෙනවා. කොල්කරුවන් දෙදෙනා පොලිස් බාරයට ගෙන රුපියල් ලක්‍ෂ 223 ක මුදල ද සුරක්ෂිත කිරීමට ඔවුන්ට හැකි වුණා.

    සැකකරුවන් සන්තකයේ තිබූ බෝර ‍12  වර්ගයේ අවිය සමග ඊට යොදන ජීව පතොරමක්, මන්නා පිහියක්, අත්වැසුම් හා යතුරු පැදිය ද,  සිය බාරයට ගත් බව, පොලීසිය පවසනවා.

    අත්අඩංගුවට ගත් කොල්ලකරුවන් දෙදෙනා අවුරුදු 48 හා 50 වැනි  වියේ පසුවන තඹුත්තේගම ප්‍රදේශයේම පදිංචිකරුවන්. එම අපරාධය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පැවැත්වූ තඹුත්තේගම පොලීසිය, ඊට අධාර අනුබල දුන් අනෙක් සැකකරු රාජාංගනය  - නවසිරිගම ප්‍රදේශයේ දී අද අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මංකොල්ලයට පැමිණි අයෙකු කලක් එම බැංකුවේ ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කර ඇති බවයි, පොලීසිය  පවසන්නේ. ඊට අමතරව සැකකරුවන් පැමිණි යතුරුපැදියේ හිමිකරුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මෙම දැවැන්ත මුදල් කොල්ලය වළැක්වීමට මූලිකත්වය‍ ගෙන ක්‍රියා කළ පොලිස් සැරයන් බුද්ධික කුමාර මහතාට ගෞරවය හා ප්‍රසාදය හිමි වන බව, පොලීස් මූලස්ථානය පවසනවා. සැකකරුවන් සියලු දෙනා තඹුත්තේගම මහේස්ත්‍රාත්වරයා හමුවට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.   

    Last modified on අඟහරුවාදා, 27 සැප්තැම්බර් 2022 14:43

    Latest News