අන්තර්ජාතික සම්මාන උළෙලකදී ජාතික රූපවාහිනී ප්‍රවෘත්ති සඳහා සම්මාන 02ක්...

සැප් 23, 2022
  • දකුණු ආසියානු අන්තර් ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේ ජනමාධ්‍ය සඳහා වූ සම්මාන ද්විත්වයම දිනා ගැනීමට ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති අංශයේ ගාමිණී බණ්ඩාර මැණික්දිවෙල සමත් වුණා.

    ඔහු විසින් ඉදිරිපත් කරන ලද “අතුරේ යාම” හා “ඩොලර් තැඹිලි” යන ප්‍රවෘත්ති අංග සඳහා මෙලෙස සම්මාන හිමිව තිබෙනවා. බංග්ලාදේශයේ ඩකා නුවර ඊයේ පස්වරුවේ පැවති සම්මාන උළෙලේදී ඔහු ඇගයීමට ලක් වුණා. දකුණු ආසියාවේ විශිෂ්ටතම ගවේශණාත්මක ප්‍රවෘත්තිය සඳහා වූ සම්මානය ලැබුණේ, “අතුරේ යාම” ප්‍රවෘත්තියටයි. දකුණු ආසියාවේ ආර්ථික සංවර්ධන උපායමාර්ගික ප්‍රවෘත්තිය සඳහා වූ සම්මානය ලැබී ඇත්තේ “ඩොලර් තැඹිලි” ප්‍රවෘත්තියටයි.

    මෙම සම්මාන උළෙල සඳහා ශ්‍රී ලංකාවෙන් නිර්දේශ වී තිබූ එකම ප්‍රවෘත්ති අංගය වන්නේ, “අතුරේ යාම” හා “ඩොලර් තැඹිලි” ද්විත්වයයි. එහෙත්, මෙතෙක් ඉතිහාසයේ අන්තර් ජාතික සම්මාන උළෙලකදී ප්‍රථම වරට එක් සම්මාන උළෙලකදී සම්මාන දෙකක් දිනා ගැනීමට ජාතික රූපවාහිනියට හැකි වීම විශේෂත්වයක්.

    සම්මාන උළෙලේදී දකුණු ආසියානු රටවල ව්‍යාපාර, ව්‍යවසායකත්ව, නිෂ්පාදන, අධ්‍යාපන, සමාජ සේවා හා මාධ්‍ය ඇතුළු ක්‍ෂේත්‍ර කිහිපයක දක්ෂතා දැක් වූවන් අගැයීමට ලක් කෙරුණා. මෙම ප්‍රවෘත්ති ද්විත්වය සම්මාන උළෙලට නිර්දේශ වී තිබුණේ, සාම්ප්‍රදායිකත්වයෙන් නූතනත්වය කරා යන තේමාව යටතේයි. ගාමිණී බණ්ඩාර මැණික්දිවෙල, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ප්‍රවෘත්ති අංශයේ සහය නිෂ්පාදකවරයෙකු ලෙස සේවය කරනවා.

     




    Latest News