ජනපතිගේ බ්‍රිතාන්‍ය සංචාරයට අදාළව පළවන ඇතැම් තොරතුරු සාවද්‍යයයි - ජනාධිපති මාධ්‍ය අංශය

සැප් 21, 2022

    බ්‍රිතාන්‍ය‍යේ වෙස්ට්මිනිස්ටර් ඇබේ හි පැවති දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍යයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ දූත පිරිස සම්බ න්ධයෙන් ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සමාජ මාධ්‍ය සාවද්‍ය තොරතුරු හුවාදක්වමින් සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

    ඉන් ජනතාව නොමග යැවීමට කටයුතු කරන බව නිරීක්ෂණය වන බවයි මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ. 

    එම අවමංගල්‍ය උත්සවයට සහභාගි වීම සඳහා ලැබුණු නිල ආරාධනය අනුව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග දූත පිරිසට එක්වූයේ ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ යන මහත්ම මහත්මීන් පමණක් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ. 

    ඊට අමතරව ජනාධිපතිවරයාගේ නිල වෛද්‍යවරයාද ඊට සහභාගි වී සිටිනවා. 

    ජනාධිපතිවරයාගේ භාර්යාව වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ඒ සඳහා එක්වූයේ එතුමියගේ පෞද්ගලික වියදමින් වන අතර, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතාද පසුගියදා පැවති ශ්‍රී ලංකා ඩයස්පෝරා හමුවට එක්වූයේ ඔහු එක්සත් රාජධානියේ පෞද්ගලික සංචාරයකට එක්ව සිටින අතරතුරදී බවද ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කරනාව. 

    පෝලන්ත ජනාධිපති ඇන්ඩ්‍රේස් ඩූඩා සහ ඔහුගේ බිරිඳ ඇගතා කෝන්හවුසර් ඩූඩා, දකුණු අප්‍රිකනු ජනාධිපති සිරිල් රම‍ෆෝසා, ඝානා ජනාධිපති නනා අකුෆෝ ඇඩ්ඩෝ, බංග්ලාදේශ අගමැතිනී ෂීක් හසීනා, ඉන්දීය ජනාධිපති ද්‍රෙපදි, චීන උප ජනාධිපති චං කිෂාන්, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ ඔහුගේ බිරිඳ ජිල් බයිඩන්, එක්සත් රාජධානියේ අගමැති ලීස් ට්‍රස්,  කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ, ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් සහ නවසීලන්ත අගමැති ජසින්තා ආඩර්න්, ප්‍රංශ ජනාධිපති එම්මැනුවෙල් මැක්‍රෝන් සහ බිරිඳ බ්‍රිජිට් ඇතුළු රාජ්‍ය නායකයන් රැසක් අවමංගල්‍ය උත්සවයට සහභාගි වී සිටියා. 

    Latest News