තොරතුරු තාක්ෂණ කර්මාන්තය මගින් ඩොලර් බිලියන 10ක් ඉපයීමේ ඉලක්කයක්...

සැප් 20, 2022

    තොරතුරු තාක්ෂණ කර්මාන්තය මගින් විදේශ විනිමය ඉදිරියේදී ඩොලර් බිලියන දහය දක්වා රැගෙන යාම රජයේ අපේක්ෂාව  බව අමාත්‍ය ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා පවසනවා.

    එහිදී ජාත්‍යන්තර වෙළඳපොළ අවශ්‍යතාවයට සරිලන පරිදි තරුණ පරම්පරාවට අවශ්‍ය තොරතුරු දැනුම ලබාදීමට කටයුතු කරන බවද, අමාත්‍යවරයා කියා සිටිනවා. ශ්‍රී ලංකා තාක්ෂණ විශ්ව විද්‍යාලය ක්‍රියාත්මක කරන තොරතුරු තාක්ෂණ වේදය පිළිබඳ උපාධි පාඨමාලාව හඳුන්වා දීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා.

    මෙය ක්‍රියාවට නැංවෙන්නේ, ජාතික ‍යොවුන් සේනාංකය සහ ජාතික තරුණසේවා සභාවේ දායකත්වය සහිතවයි. ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම මෙහිදි සිදු කෙරුණා. ගෝලීය වශයෙන් තොරතුරු තාක්ෂණ ‍කර්මාන්තයේ රැකියා සඳහා අවශ්‍ය දැනුම සහිත උපාධිධාරින් පිරිසක් බිහි කිරී‍ම මෙහි අරමුණයි. අද වනවිට මෙරට තුළ තොරතුරු තාක්ෂණවේදීන් 175,000ක් පමණ සිටිනවා.  2025 වන විට එය 500,000 දක්වා වර්ධනය කිරීම රජයේ අපේක්‍ෂාවයි.  ඕනෑම විෂය ධාරවකින් උසස් පෙළ සමත්, අයෙකුට පළමු වසර තුළ මාසිකව රුපියල් 10,000ක අවම පාඨමාලා ගාස්තුවක් ගෙවා මෙම උපාධිය හැදැරිය හැකියි. 

    අමාත්‍ය රොෂාන් රණසිංහ, රාජ්‍ය අමාත්‍ය කනක හේරත් ශ්‍රී ලංකා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ ප්‍රධාන විධායක ඉංජිනේරු රංජිත් රූබසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

    Latest News