'ලයිසන්' ගන්න දැන් සෙනසුරාදාටත් පුළුවන්

මාර් 13, 2019

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සෙනසුරාදා දිනයේද විවෘතව තැබීමට ප්‍රවාහන සහ සිවිල්ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා උපදෙස් දී තිබේ.

    මේ අනුව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ නුගේගොඩ ප්‍රධාන කාර්යාලය සහ වේරහැර කාර්යාලයද ලබන සෙනසුරාදා (17) සිට සෑම සෙනසුරාදිනකම විවෘතව තැබෙනු ඇත. සතියේ දිනවලදී මෙන්ම සෙනසුරාදා දිනයන්හි රියදුරු බලපත්‍ර සේවා එම කාර්යාලයෙන් ලබා ගැනීමේ අවස්ථාව මහජනතාවට උදා වේ. රියදුරු බලපත්‍ර අලුත්කර ගැනීම, රියදුරු බලපත්‍ර නිකුත් කිරීම, රියදුරු බලපත්‍ර ඉල්ලුම් පත්‍ර භාර ගැනීම සහ රියදුරු බලපත්‍ර පරීක්ෂණ වැනි සේවාවන් ඊට අයත් වේ. එම කාර්යාවලින් සතියේ දිනවලදී‍ මෙන් රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා අවශ්‍ය වෛද්‍ය සහතික නිකුත් කිරීම සිදු කෙරෙනු ඇත.

    අමාත්‍ය අර්ජුන රණතුංග මහතා “මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය කියන්නේ ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ තියෙන තවත් වැදගත් ආයතන දෙකක්. සමහර වෙලාවට තියෙන තදබදය නිසා ඇතැම් අයට තමන්ගේ කාර්යය සිතන පරිදි ඉටු කර ගැනීමේ අවස්ථාව හිමි වෙන්නේ නැහැ. තවත් දවසක් එන්න සිදු වෙනවා. මේ තත්ත්වයන් සියල්ලම සැලකිල්ලට ගෙන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රියදුරු බලපත්‍ර කාර්යාලයත් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයත් සෙනසුරාදා දිනයේත් විවෘත කිරීමට අමාත්‍යාංශයක් හැටියට අපි තීරණය කළා. මෙයින් වැඩිම වාසිය ලැබෙන්නේ රජයේ සේවකයින්ට. ඔවුන්ට සතියේ දිනවලට මේ ආයතනවලින් සේවාව ලබා ගැනීම සඳහා පැමිණෙන්න බොහෝම අපහසුයි. නමුත් දැන් එම අපහසුතාව ඉවත් වෙනවා" යැයි ඔහු කියා සිටියේය.

    රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ගම්පහ සහ කුරුණෑගල යන ප්‍රාදේශීය කාර්යාලවල සෙනසුරාද දින සේවාව මේ මස 23 වැනිදා අරම්භ වේ. ප්‍රවාහන ක්ෂේත්‍රයේදී මහජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීම සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය දියත් කරන නව වැඩසටහන් යටතේ මෙම තීරණය ගෙන ඇත.

    Last modified on බදාදා, 13 මාර්තු 2019 18:51

    Latest News