කාබනික කෘෂිකර්ම ප්‍රතිපත්තිය ඉදිරියටත් ...(වීඩියෝ)

අගෝ 07, 2022
  • ලබන මහ කන්නයේ වගා කරන කුඹුරුවලින් 30% ක් කාබනික වගාවට නිර්දේශ කරන බව, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

    කාබනික කෘෂිකර්ම ප්‍රතිපත්තිය, රජය ඉදිරියටත් පවත්වාගෙන යන බවයි, අමාත්‍යවරයා සඳහන් කරන්නේ. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, මැල්සිරිපුර, උමංදාව කාබනික ‍වගාව නිරීක්ෂණය කිරීම සඳහා පසුගියදා එක්වෙමින්. උමන්දාව විහාරස්ථාන භූමිය අක්කර 75 කින් සමන්විත වන අතර, එහි සෑම ස්ථානයකම වගා කටයුතු සිදු කර තිබීම විශේෂත්වයක්. පරිසර හිතකාමී කෘෂිකාර්මික ව්‍යාපෘතියක් වශයෙන් උමංදාව තුළ උඩරට, පහතරට මෙන්ම, වියළි කලාපයේ වගා කළ හැකි සියලු‍ බෝග වර්ග වගා කර තිබෙනවා. ගව පාලනය හා එම සතුන්ගේ අපද්‍රව්‍ය උපයෝගී කර ගනිමින් කාබනික පොහොර, කෘමි විකර්ශක ද්‍රව්‍ය නිපදවීම මෙන්ම, බයෝගෑස් නිපදවීම තුළින් බලශක්තිය ලබා ගැනීම වැනි ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා. මෙම සමස්ත වගා භූමිය නිරීක්ෂණය කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා, පූජ්‍ය සිරි සමන්තබද්‍ර හිමියන් තම දැනුම ඵලදායී ලෙස කෘෂිකර්ම සංවර්ධනය සඳහා යොදා ගනිමින් ගොවි ජනතාවට ලබාදී ඇති ආදර්ශය අගය කළා.

    යුද හමුදා ශ්‍රමදායකත්වය මත පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කන්දකාඩු, රජයේ කෘෂිකර්ම ගොවිපොළ භූමිය අමාත්‍ය මහින්ද අරමවීර මහතා ඊයේ නිරීක්ෂණය කළා. ගොවිපොළ භූමිය තුළ පවත්වා ගෙන යන මහා පරිමාණ බඩඉරිඟු වගාව සහ මිරිස් වගාව සිදු කර ඇති ආකාරයත්, අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා. මෙවර, යල කන්නයේ ගොවි ජනතාවගේ වී අස්වනු ‍මිලදී ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් අරඹා ඇති බවද, අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්, යුද හමුදා නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

    Latest News