පාද යාත්‍රාවෙන් පැමිණෙන බැතිමතුන්ට ජනපති උපදෙසින් පහසුකම්.

අගෝ 05, 2022

    කතරගම ඇසළ උත්සවය සඳහා උතුරු නැගෙනහිර සිට පාද යාත්‍රාවෙන් පැමිණෙන බැතිමතුන්ට ආරක්ෂාව හා ජල සම්පාදනය ඇතුළු යටිතල පහසුකම් සැපයීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි රුපියල් මිලියන 2.04ක මුදලක් වෙන් කර ඇත.

    පාද යාත්‍රාවෙන් පැමිණෙන බැතිමතුන් මුහුණපාන දුෂ්කරතා පිළිබඳව මොණරාගල දිස්ත්‍රික් ලේකම් ගුණදාස සමරසිංහ මහතා ජනාධිපතිතුමාව දැනුවත් කිරීමෙන් පසු ඊට අදාළ පහසුකම් සලස්වන ලෙස උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව අදාළ පහසුකම් සැපයීම ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ සිදු කරනු ලබයි. වාර්ෂිකව ඇසළ උත්සවය නිමිත්තෙන් බැතිමතුන් තිස්දාහකට අධික පිරිසක් ඔකඳ සිට පා ගමනින් කිලෝමීටර් 90කට වැඩි දුරක් ගෙවා කතරගම පූජා භූමිය වෙත පැමිණීම අතීතයේ සිට පැවත එන්නකි. එම ගමනේදී ඔවුන් විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දෙන අතර ඇතැම්විට වන සතුන්ගෙන් වන ආපදාවලට ද මුහුණ දී තිබේ.

    මේ පිළිබඳ අවධානය යොමු කරමින් එම බැතිමතුන්ගේ ආරක්ෂාව සහ පහසුකම් සැපයීම වෙනුවෙන් කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා අදාළ පාර්ශ්වයන්ට උපදෙස් දී ඇත.

    Latest News