ඉන්ධන බෙදාහැරිම තවදුරටත් විධිමත් කිරීම අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දෙයි

අගෝ 05, 2022

    ලංකා ගමනාගමන මණ්ඩලය හරහා ඉන්ධන බෙදාහැරිමේ කටයුතු දුරටත් විධිමත් කිරීම අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දෙයි.

    වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ජනතාවට ඉන්ධන, විදුලිය, ආහාර, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඖෂධ ඇතුළු සේවාවන් අඛණ්ඩව සැපයීමේ දිගුකාලීන හා කෙටිකාලීන වැඩපිළිවෙලවල් සකස් කරන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් අද කැඳවූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩ මහතා මේ බව පෙන්වා දුන්නේය.

    මෙම පෙත්සම් අද විජිත් මළල්ගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි කැඳවනු ලැබීය.

    එහිදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා කියා සිටියේ ඉන්ධන බෙදාහැරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කළ යෝජනා බොහොමයක් මේ වන විටත් ක්‍රියාවේ යොදවා ඇති බවයි.

    ඒ බව දැක්වෙන දිවුරුම් ප්‍රකාශයක් ද මේ වන විට අධිකරණය හමුවේ ගොනුකර තිබෙන බව ඔහු පැවසීය.

    එහි දී ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා හා සුරේන් ඥානරාජ් යන මහත්වරු අධිකරණයට පෙන්වා දුන්නේ ලංකා ගමනාගමන මණ්ඩලය හරහා ඉන්ධන බෙදාහැරිමේ කටයුතු තවදුරටත් විධිමත් කිරීම අවශ්‍ය බවයි.

    ගොවීන්, කර්මාන්තකරුවන්, කර්මාන්තශාලා යනාදී අංශවලට ද ඉන්ධන බෙදාහැරීම ලංකා ගමනාගමන මණ්ඩලය හරහා සිදුවන බව පෙන්වා දුන් එම නීතිඥවරු, දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් සමන්විත කමිටුවක් හරහා එම කටයුතු සිදු කරන්නේ නම් එම කටයුතු වඩාත් විධිමත් කිරීමට හැකිවනු ඇතැයි ද පෙන්වා දුන්නේය.

    එම කරුණු කෙරෙහි අවධානය යොමු කරන ලෙස රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයාට දැනුම් දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල මෙම අර්බුදය විසඳීම සඳහා ඉදිරිපත් කරනු ලබන වැඩිදුර යෝජනා අඩංගු දිවුරුම් ප්‍රකාශයක් මීළඟ දින අධිකරණය හමුවේ ගොනුකරන ලෙසත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයට නියෝග කළේය.

    ඉන් අනතුරුව පෙත්සම් වැඩිදුර සලකා බැලීම අගෝස්තු මස 31 දා තෙක් කල් තැබිණ.

    Latest News