අනවසරයෙන් මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ 51 ක් නාවික හමුදා භාරයට...

ජූලි 03, 2022

    නාවික හමුදාව අද අළුයම කළ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ සංක්‍රමණය වීමට උත්සහ කළ 51 දෙනෙකු රැගත් බහුදින යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

    ජාවාරම් මැඩපැවැත්වීමට නැගෙනහිර මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසියකදී සැකකටයුතු බහුදින ධීවර යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක් කර තිබෙනවා. මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් හය දෙනෙකු ද (06) ඇතුළුව පිරිමි පුද්ගලයන් 41 ක්, කාත්තාවන් 05ක් සහ ළමුන් 05 ක් එම බහුදින ධීවර යාත්‍රාව සමඟ නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

    සැකකරුවන් යාපනය, වව්නියාව, ත්‍රීකුණාමලය, මඩකලපුව, අම්පාර, ගම්පහ සහ රත්නපුර යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන්. ඔවුන් ත්‍රීකුණාමලය වරාය පොලිසිය වෙත භාරදීමට නියමිතයි.

    මාරවිල ප්‍රදේශයේ සෝදිසියකදී ළැගුම්හලක සැකසහිත ලෙස රැඳී සිටි 24 දෙනෙකු සහ එහි හිමිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් මඩකලපුව, වාලච්චේන සහ හලාවත, යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන්. සැකකරුවන් මාරවිල පොලීසිය වෙත භාර දී තිබෙනවා.

    තවද, මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් ව්‍යාජ තොරතුරු පවසා ජාවාරම්කරුවන් විසින් අනාරක්‍ෂිත යාත්‍රා යොදාගනිමින් සංවිධානය කරනු ලබන මිනිස් ජාවාරම්වලට හසුවී නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කර තම ජීවිත විශාල අවදානමකට ලක්කර ගැනීමෙන් සහ නීතිය ඉදිරියේ වරදකරුවෙකු වීමෙන් වළකින ලෙස නාවික හමුදාව ජනතාව වෙත අවධාරණය කරනු ලබනවා.

    Latest News