කන්දකාඩු රැඳවියාගේ මරණයට 4ක් අත්අඩංගුවට (වීඩියෝ)

ජූලි 02, 2022
  • පොලොන්නරුව, වැලිකන්ද, කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ රැදවියකු සැකකටයුතු ලෙස මියයෑම සම්බන්ධයෙන් එම කඳවුරේ සේවය කළ යුද හමුදා සෙබළුන් දෙදෙනෙකු සහ ගුවන් හමුදා සෙබළුන් දෙදෙනකු ඊයේ (1) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔවුන් කන්දකාඩු ප්‍රථිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සහාය උපදේශවරුන් ලෙස කටයුතු කර ඇති ඇත.

    සැකකරුවන්ගේ ප්‍රකාශ මත මියගිය අයට පහරදීම සඳහා යොදා ගත්තේ යැයි, සැකකරන ඝනකම සහිත විදුලි වයරයක් සහ උණ පතුරු 2ක් පොලීසිය විසින් සොයා ගෙන තිබේ. මියගිය රැඳවියාගේ මෘත ශරීරය ඔහුගේ බාල සහෝදරයා සහ යහළුවන් විසින් හඳුනා ගෙන ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ ලබන 5 වැනි දින සිදුකිරීමට නියමිතයි.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (02) ඉදිරිපත් කිරීමට නියමිතයි.

    පසුගිය (29) දින කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරෙන් පළා ගිය රැඳවියන් 679 දෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් හා භාරවීමෙන් පසු පොලීසිය විසින් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ. එමෙන්ම ඊයේ දිනයේ අත්අඩංගුවට ගත් තවත් රැඳවියන් දෙදෙනෙක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා පොලීසිය භාරයේ සිටියි.

    කඳවුරේ රඳවා සිටි රැඳවියන් 998 දෙනාගෙන් 272 දෙනෙකු මේ වන විට කඳවුර භාරයේ පසුවෙයි.

    තවත් 44 දෙනෙක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය හා හමුදාව අවශ්‍ය මෙහෙයුම් සිදු කරයි. එම රැඳවියන් පිළිබඳ යම් තොරතුරක් වේ නම් වැලිකන්ද පොලිස් ස්ථානාධිපති 071-851235 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ජනතාවට දැනුම් දෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරන්නේ.

    Last modified on සෙනසුරාදා, 02 ජූලි 2022 12:37

    Latest News