සුදුසුකම් ලැබූ 5,800ක් ඉදිරි මාස හය තුළ කොරියාවට

ජූනි 03, 2022

    කොරියානු රැකියා සදහා සුදුසුකම් ලබා ඇති 5,800ක් ඉදිරි මාස හය ඇතුළතදී කොරියාවට ගෙන්වා ගන්නා බවට කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සහ මෙරට නේවාසික නියෝජිත ලී චූ චුල් සහතික වූ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර ප්‍රකාශ කරයි.

    ඊට අදාළ සාකච්ජාවක් ඊයේ (02) කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේදී පැවැත්විණි.

    කොරියානු රැකියා සඳහා පිටත්ව යාමට සුදුසුකම් ලබා සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිටත් කර යැවීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් මනුෂ නානායක්කාර මහතා කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ අවධානය යොමු කළේය.

    ඒ සදහා සාධනීය විසදුමක් ලබාදීමට එකගවූ නියෝජිතවරයා ඉදිරි මාස හය තුළදී රැකියා සදහා සුදුසුකම් ලබා ඇති 5,800ක් කොරියාවට ගෙන්වා ගන්නා බවට සහතික විය.

    ඒ අනුව ඉදිරි සතියේ සිට සතියට එක් ගුවන් යානයකයින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 200 දෙනෙක් බැගින් කොරියාවට රැගෙන යාමට නියමිත අතර ඉන් පසුව එය සතියකට ගුවන් යානා දෙකක් දක්වා වැඩි කිරීමටද නියමිතයි.

    මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී මංගල රන්දෙනිය හා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පුහුණු) සෙනරත් යාපා යන මහත්වරුන්ද එක්ව සිටියහ.

    Latest News