නව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් සකස් නොකරන තෙක් ශ්‍රී ලංකාවට මූල්‍ය ප්‍රතිපාදන නොදෙන බව, ලෝක බැංකුව පවසයි.

මැයි 25, 2022

    නව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් සකස් නොකරන තෙක් ශ්‍රී ලංකාවට මූල්‍ය ප්‍රතිපාදන නොදෙන බව, ලෝක බැංකුව ප්‍රකාශ කර ඇත.

    ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් කඩිනමින් සකස් කළ යුතු බවයි, ලෝක බැංකුව සඳහන් කරන්නේ. ශ්‍රී ලංකාවට ලෝක බැංකු සහය සම්බන්ධයෙන් ඉකුත්දා පළවූ මාධ්‍ය වාර්තා පදනම් කර ගනිමින් ලෝක බැංකුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    එහි දැක්වෙන්නේ, නව ණය හෝ ණය සහන ලෝක බැංකුවෙන් හිමිවන බවට පළවී ඇති තොරතුරු අසත්‍ය බවයි. ශ්‍රී ලංකාවේ ජනතාව ගැන අවධානය යොමුකර, අන්තර් ජාතික මූල්‍ය අරමුදල සහ සෙසු ආයතන සමග ක්‍රියා කරමින් සිටින බව, ලෝක බැංකුව සඳහන් කරනවා. මෙය දැනට ප්‍රතිපත්ති සැකසුම් හා ආර්ථික ස්ථාවර කිරීමේ සහ වර්ධනය ළඟා කර ගැනීමේ උපදේශනාත්මක ක්‍රියාවලියක් පමණක් බවයි, ලෝක බැංකු නිවේදනයේ දැක්වෙන්නේ.

    නව සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් සකසන තෙක් අලුතෙන් මූල්‍ය ප්‍රතිපාදන ශ්‍රී ලංකාවට ලබාදීමක් සිදු නොවන බව, ලෝක බැංකුව අවධාරණය කරනවා. දැනට සිදු කරනු ලබන්නේ, මෙරටට අනුමතව ඇති වෙනත් ලෝක බැංකු ව්‍යාපෘතිවලට අදාළ මූල්‍ය ප්‍රතිපාදන ඖෂධ සැපයීම හා වෙනත් හදිසි ආධාර සඳහා යෙදවීමයි. මේ යටතේ ශ්‍රී ලංකා රජයට දිළිඳු ආධාර වැඩසටහන්, පාසල් දරුවන්ට ආහාර ලබාදීම, කුඩා පරිමාණ ව්‍යාපාර හා ගොවීන්ට ආධාර කිරීම ආදිය සිදුකෙරෙන බවයි, ලෝක බැංකුව පෙන්වා දෙන්නේ.

    Latest News