ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් මිලියන 2ක පරිත්‍යාගයක්

මැයි 25, 2022

    රටේ සෞඛ්‍ය පද්ධතියට සහායවීම සඳහා ඩොලර් මිලියන 2 ක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 718 ක මුදලක් සෞඛ්‍ය අංශ වෙත පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

    මැයි 24 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී රැස් වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක සභාව විසින් මෙම මුදල් පරිත්‍යාගය සඳහා අනුමැතිය ලබා දී තිබේ.

    ඒ අනුව ළමා රෝග ‌සඳහා වන අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා කොළඹ ‘රිජ්වේ ආර්යා රෝහල’ වෙත ඇමරිකානු ඩොලර් මිලියනක මුදලක් පරිත්‍යාග කෙරෙන අතර ඉතිරි ඇමරිකානු ඩොලර් මිලියනක මුදල පිළිකා රෝගීන්ට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීම වෙනුවෙන් ජාතික පිළිකා රෝහල වෙත ලබා දෙනු ඇත.

    “රටට උපකාර අවශ්‍ය මේ මොහොතේදී මෙම පරිත්‍යාගය කිරීමට හැකිවීම සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතිශයින්ම සතුටට පත් වන අතරම, මෙම අභියෝගාත්මක අවස්ථාව ජය ගැනීම සඳහා අපගේ ජාතියට අපේ උපරිම සහයෝගය ලබා දීමට බලාපොරොත්තු වෙනවා” යැයි අදාළ පරිත්‍යාගය සිදුකිරීම සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා මහතා අදහස් දක්වා සිටියේය.

    මෙම හදිසි අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් මෙම මූල්‍ය පරිත්‍යාගය අදාළ ආයතනවල නිලධාරීන් වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රියාකරනු ඇත .

    “හැම විටම කොන්දේසි විරහිතව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට සහ ක්‍රීඩකයින්ට සහයෝගය ලබා දෙන අපගේ ජනතාවට උපකාර කිරීමට පෙරට පැමිණීමට සුවිශේෂී ක්‍රීඩා සන්නාමය වන අපගේ වගකීමක් ලෙස අප සලකනු ලබනවා” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා මහතා අදහස් දක්වා සිටියේය.

    Latest News