යල කන්නට අවශ්‍ය ඉන්ධන නිකුත් කිරීම කඩිනම් කිරීමේ වැඩපිළිවෙළක්

මැයි 25, 2022

    යල කන්නයට අවශ්‍ය ඉන්ධන කඩිනමින් නිකුත් කිරීමේ වැඩපිළිවෙලක් කඩිනමින් සකස් කිරීමට විශේෂ සාකච්ඡාවක් ඊයේ (24) පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්විණ.



    2022 යල කන්නය මේ වන විට ආරම්භ වී තිබේ. එහෙත් දිවයිනේ සෑම කෘෂිකාර්මික ප්‍රදේශයකින්ම ගොවීන්ට සී සෑම සඳහා අවශ්‍ය ඉන්ධන නොමැතිකම නිසා ඔවුන් දැඩි දුෂ්කරතාවලට මුහුණ පා සිටින බව කෘෂිකර්ම, වන ජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පෙන්වා දුන්නේය.

    ඒ අනුව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් විසින් දිවයිනේ දිස්ත්‍රික් 25ම ආවරණය වන පරිදි ඉන්ධන නිකුත් කිරීමේ පහසුකම සැලසීම සඳහා තෝරාගත් ඉන්ධනහල් 217ක නාමලේඛනයක් අමාත්‍යවරයා වෙත ලබා දුන් අතර, එම ඉන්ධනහල් මඟින් ගොවීන්ට සී සෑම සඳහා අවශ්‍ය ඉන්ධන අඛණ්ඩව නිකුත් කිරීමට තීරණය කරනු ලැබීය. ඒ යටතේ එම ඉන්ධනහල් ලැයිස්තුවට අදාළ ඉන්ධන අඛණ්ඩව නිකුත් කරන ලෙස ඉල්ලා කෘෂිකර්ම අමාත්‍යවරයාගේ නියෝගය පරිදි කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ඊයේ (24) පස්වරුවේම විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා වෙත ලිපියක් මඟින් දැනුම් දෙනු ලැබීය.

    කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර, යල කන්නයේ වගාව සඳහා අවශ්‍ය අතිරේක ඉන්ධන පවා ලබාදීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා තමන් සමඟ එකඟ වු බව කෘෂිකර්ම අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

    ඒ අනුව ගොවීන්ට තමන්ගේ කුඹුරුවල සී සෑම සඳහා අවශ්‍ය ඉන්ධන ගොවිජන සේවා මධ්‍යස්ථානවල අනුමැතිය සහිත ලිපියක් ඉදිරිපත් කිරීම මඟින් අදාළ බලය ලත් ඉන්ධනහල්වලින් භාජනවලට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ලබා ගැනීමට පිළිවන.

    2022 යල කන්නය අතිශයින් තීරණාත්මක වගා කන්නයක් බවට පත් වී තිබේ. එයට හේතුව නම් පසුගිය මහ කන්නය අසාර්ථකවීම නිසා වී අස්වැන්න හරි අඩකින් පමණ අවම වී තිබීමත්, විශේෂයෙන් 2022 මහ කන්නය සඳහා අවශ්‍ය බිත්තර වී ලබා ගැනීමට නම්, යල කන්නය අනිවාර්යයෙන් සාර්ථක කර ගැනීම අත්‍යවශ්‍ය වේ. යල කන්නය අසාර්ථක වුවහොත් ඊළඟ මහ කන්නය සඳහා අවශ්‍ය බිත්තර වී හිඟයක් ඇති වීමට ඉඩ ඇති බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා ඊයේ (24) සාකච්ඡාවේදී පෙන්වා දුන්නේය.

    ඒ අනුව යල කන්නය සඳහා සී සෑමට අවශ්‍ය ඉන්ධන වහාම අදාළ ඉන්ධනහල් මඟින් ගොවීන් වෙත නිකුත් කිරීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා කෘෂිකර්ම අමාත්‍යවරයාට දැනුම් දී ඇත.

    Latest News