අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහි විදේශ ගමන් තහනම දීර්ඝ වෙයි

මැයි 23, 2022

    ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එහි මුදල් අවභාවිතා කළේ යැයි ගොනුකර තිබෙන පුද්ගලික පැමිණිල්ලක සැකකරු වශයෙන් නම් කර සිටින හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙත පණවා තිබෙන විදේශ ගමන් තහනම ජූලි මස 25 වනදා තෙක් දීර්ඝ කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.



    එම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනවල මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

    පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අජිත් නිවාඩ් කබ්රාල් මහතා අධිකරණයේ පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පෙනී සිටියා.

    තම සේවාදායකයාට සිතාසි ලැබී තිබෙන බවත් ඔහු මීළග දින පෙනීසිටින බවත් නීතිඥවරයා දැනුම් දුන්නා.

    අනතුරුව පැමිණිල්ල ජුලි මස 25 වනදා කැඳවීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එදින තෙක් කබ්රාල් මහතා වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම දීර්ඝ කරන ලෙස නියෝග කළා.

    එමෙන්ම ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලට අදාළව මෙම වසරේ ජනවාරි මස 18 වනදා ගෙවීම් කරන ලද පාර්ශවයන්ගේ නම් ලැයිස්තුවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලීම් කර තිබුණා.

    එම ඉල්ලීම පිළිගත් අධිකරණය අදාළ ස්වෛරී බැඳුම්කර සඳහා ගෙවීම් කරන ලද පාර්ශවයන්ගේ නම් ලැයිස්තුවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවට නියෝග කළා.

    හිටපු දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් මෙම පුද්ගලික පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

    2006 වසරේ ජුලි මස පළ වන දා සිට 2015 වසරේ ජනවාරි මස 8 වනදා සිට 2015 වසරේ ජනවාරි මස 08 වනදා දක්වා කාල සීමාව තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් අමාත්‍ය මණ්ඩල හෝ මුල්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව ඇමරිකානු එක්සත් ජනපදයේ ඉමාඩ් ෂා සුබේරි නමැත්තාට ශ්‍රී ලංකා ජනරජයේ මුදල්වලින් ඇමරිකානු ඩොලර් මිලියන 6.5 ක් ගෙවීම තුළින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ අජිත් නිවාඩ් කබ්රාල් මහතා සාපරාධී වරදක් සිදු කර ඇතැයි පැමිණිල්ලේ සදහන් වුණා.

    එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී 2022 වසරේ ජනවාරි මස 18 වනදා කල් පිරිය යුතු ස්වෛරී බැදූම්කර තුලින් ශ්‍රී ලංකා රජයට ඇමරිකානු ඩොලර් මිලියන 500 ක පාඩුවක් සිදු කිරීම මෙම පැමිණිල්ල තුලින් එල්ල කර තිබූ තවත් චෝදනාවක් වුණා.

    ඊට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී මිය සමීප ඥාතීන් එහි තනතුරු සඳහා පත් කිරීම තුළින් රහස්‍ය තොරතුරු පිටකිරීම තුලින් භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර නිකුතුවලින් ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 10.04 ක පාඩුවක් සිදු කරන ලදැයි අදාළ පැමිණිල්ල තුලින් තවත් චෝදනාවක් එල්ල කර තිබෙනවා.

    Latest News