හිටපු ජනපති මෛත්‍රිට එරෙහි පෙත්සමට අලුතින් වගඋත්තරකරුවන් ලෙස අගමැති රනිල්

මැයි 18, 2022

    හිටපු ජනපතිට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන්ගේ නම් ඇතුළත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ අද අවසර ලබා දුන්නා.

    ඒ, මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිව සිටියදී වාසය කළ කොළඹ මහගමසේකර මාවතේ පිහිටි නිවස විශ්‍රාම යාමෙන් පසුවත් ඔහු වෙත පවරා දීමට එවක අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සමකටයි.

    මෙම පෙත්සම අද එල්. ටී. බී .දෙහිදෙනිය, යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවයට මෙම අවසරය ලබා දුන්නා.

    ඒ සදහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙත්සම්කරුවන්ට ජූනි මස 29වැනිදා දක්වා කල් ලබා දුන්නා.

    විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරමින් තමන්ට හිමි වරප්‍රසාද ලබා ගැනීමට ක්‍රියාකිරීම තුළින් ඔහු මහජන විශ්වාසය කඩකර ඇති බවත් ඒ තුළින් ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවටත් තීන්දු කරන ලෙසද මෙම පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

    Latest News