ගෑස් තොග සම්බන්ධයෙන් ලිට්‍රෝ සමාගමෙන් දැනුම්දීමක්

මැයි 09, 2022

    ගෑස් තොග රැගෙන මෙරටට ළගාවීමට නියමිත නෞකා 02 ක් සඳහා අද දිනයේදී මුදල් ගෙවීම සිදුකරන බව ලිට්‍රෝ සමාගම පවසයි.

    එම සමාගමේ සභාපති විජිත හේරත් මහතා පවසන්නේ ගෑස් මෙට්ට්‍රික් ටොන් 3,500ක් සහිත එම නෞකා 02ක මෙම සතියේදී මෙරටට ළගාවීමට නියමිත බවයි. ඒ අනුව අදාළ නෞකා 02 සඳහා ගෙවීමට නියමිත මුදල අමෙරිකානු ඩොලර් මිලියන 07ක්.

    එම නෞකා 02න් එක් නෞකාවක් ලබන බඳදා හෝ බ්‍රහස්පතින්දා දිනයේදී මෙරටට ළගාවීමට නියමිත බවයි, ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා ප්‍රකාශ කරයි. ගෑස් රැගත් අනෙක් නෞකාව ලබන සෙනසුරා දිනයේ දී මෙරටට ළගාවීමට නියමිතයි.

    මේ අතර, ඉන්දියානු ණය පහසුකම යටතේ සහ ලෝක බැංකුවේ ආධාර යටතේ ගෑස් මිලදී ගැනීම සඳහා අදාළ සැපයුම්කරුවන් සමග මේ වනවිටත් සාකච්ඡා සිදුකරමින් සිටින බව ද ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

    මේ අතර, ගෑස් හිඟය නිසා, දැනට කර්මාන්ත සඳහා පමණක් ගෑස් සපයන බැවින්, ගෘහස්ථ ගෑස් මිලදී ගැනීම සඳහා පෝලිම්වල රැඳී නොසිටින ලෙස ද  සභාපති විජිත හේරත් මහතා පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියි.

    Latest News