මුදල් ඇමති ගෙන ඇති ක්‍රියාමාර්ග IMF පැසසුමට

අප්‍රේ 19, 2022

    ශ්‍රී ලංකාවේ පවතින අර්බුදකාරී තත්වය සමනය කිරීමට මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා, දැනටමත් ගෙන ඇති ක්‍රියාමාර්ග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුමට ලක්ව තිබේ.

    එහි කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය සහ මුදල් අමාත්‍යවරයා අතර ඊයේ පැවති හමුවේදී මේ බව ප්‍රකාශ කෙරිණ. හමුව පැවැත්වුණේ, වොෂින්ටන් ඩී.සී.ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන මූලස්ථානයේදී.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට සිය පූර්ණ සහය ලබා දීමටත්, එහි විශේෂඥ සහය තුළින් පවතින අර්බුදය විසඳීමට අවශ්‍ය ශක්තිය ලබාදීමටත්, එකඟ වී තිබේ. එහිදී මුදල් අමාත්‍යවරයා වේගවත් මූල්‍ය ආධාර ශ්‍රී ලංකාවට ලබා දෙන ලෙස කළමනාකරණ අධ්‍යක්ෂවරියගෙන් ඉල්ලා සිටියි.

    මේ අතර ඒ සම්බන්ධ වැඩපිළිවෙලේ දී ඉන්දියාව ද ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටින බව අමාත්‍යවරයා වෙත දැනුම් දී තිබේ. මුදල් අමාත්‍යවරයා ඊයේ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය ද හමුවිය. ඊට ශ්‍රී ලංකා නියෝජිතයන් ඇතුළු ඉන්දියාවේ ප්‍රමුඛ ආර්ථික විශේෂඥයන් එක්ව සිටියි.

    ඉන්දියාව එහිදී ප්‍රකාශ කර ඇත්තේ, මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍ය උපරිම සහය ලබා දෙන බවයි. එතුලින් දෙරට අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය වනු ඇති.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දෙන මූල්‍යාධාර තවදුරටත් වැඩි කිරීමේ ක්‍රියාවලියට ද සහය දක්වන බව ඉන්දීය නියෝජිතයන් ප්‍රකාශ කර තිබේ. මේ සම්බන්ධ සාකච්ජා වට කිහිපයක් තවදුරටත් පැවැත්වීමට නියමිතයි.

    මුදල් අමාත්‍යවරයා සමග භාණ්ඩාගාර ලේකම්, මහින්ද සිරිවර්ධන සහ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ද සාකච්ජාවට සහභාගී විය.

    Latest News