ගුවන් මගීන්ට උසස් සේවාවක් ලබා දෙනවා:අමාත්‍ය අර්ජුන

මාර් 01, 2019

    කොළඹ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ගුවන් මගීන්ට ලබා දෙන සේවාව ගැන තමන්ට කිසිසේත්ම සෑහීමකට පත් විය නොහැකි බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

    එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් තම අමාත්‍යාංශය යටතේ පවතින සීමාසහිත ගුවන්තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම විසින් ඉදිරියේදී ගුවන් තොටුපොළ පරිශ්‍රයේ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ ව්‍යාපෘති රැසක් දියත් කිරීමට අපේක්ෂා කරන බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අවධාරණය කරයි. ඒ, ඔහු ඊයේ මධ්‍ය රාත්‍රියේ (28) කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයට හදිසි නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

    කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේදී දෙස්-විදෙස් මගීන්ට විදීමට සිදුවන අපහසුතා සහ දුෂ්කරතා සොයා බැලීම අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ හදිසි නිරීක්ෂණ චාරිකාවේ අරමුණ විය. එම හදිසි නිරීක්ෂණ චාරිකාවට අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතාද එක් විය.

    පැය දෙකකට අධික කාලයක් පැවැති එම නිරීක්ෂණ චාරිකාවේදී ආරක්ෂක පරීක්ෂාව, ගුවන් ප්‍රවේශපත්‍ර පරීක්ෂාව, ආගමන සහ විගමන පරිශ්‍රය ඇතුළුව ගුවන් තොටුපොළේ සෑම අංශයක්ම අමාත්‍යවරුන්ගේ නිරීක්ෂණයට ලක් විය. එහිදී ගුමන් මගීන් අපහසුතාවට පත් කරන දුර්වලතා සහ අඩුපාඩු රැසක් හඳුනා ගත් අතර අමාත්‍යවරුන් දෙපොළ නිලධාරීන්ට උපදෙස් දුන්නේ කඩිනම් වැඩපිළිවෙළක් යටතේ ගුවන් මගීන්ට වඩාත් උසස් සේවාවක් ලබාදීමට කටයුතු කරන ලෙසයි.

    “අමාත්‍යවරයා ලෙස විතරක් නෙමෙයි සාමාන්‍ය ගුවන් මගියකු ලෙසටත් මම මේ ප්‍රශ්නය බොහෝ කාලයක සිට හඳුනාගෙන තිබෙනවා. ඒ නිසාම විෂය භාර අමාත්‍යවරයා ලෙස මේ ප්‍රශ්නවලට ස්ථීර සාර්ථක විසදුම් ලබාදීමට මම අපේක්ෂා කරනවා. දැනටමත් අපි ගුවන් තොටුපොළ පරිශ්‍රය නවීකරණය කිරීමටත් පහසුකම් වැඩි කිරීමටත් කටයුතු කරමින් සිටිනවා.

    අපේ අරමුණ වන්නේ ගුවන් මගියාට සතුටින් මේ රටින් පිටව යාමටත් සතුටින් මෙරටට පැමිණිමටත් අවශ්‍ය පරිසරය සැකසීමයි. එතැනදී අපේ ආයතනවලට වගේම ගුවන් සමාගම්වටලත් වැඩි වගකීමක් පැවරෙනවා. අද සමහර ගුවන් සමාගම්වල මානව සම්පත්වල විශාල අඩුවක් නිරීක්ෂණය කරන්න පුළුවන් වුණා. සමහර කවුන්ටර වහලා. මගීන්ට මඟ පෙන්වන්න ඔවුන්ගේ නියෝජිතයින් නැහැ.

    මගීන් අතරමං වෙලා එහේ මෙහේ යනවා. ගුවන් සමාගම් වුණාම මුදල් උපයන එක පමණක් නෙමෙයි මගීන් ගැනත් සිතන්න ඕන. ඉතිං මේ ප්‍රශ්නය ඉදිරියේදී ජනාධිපතිතුමා සහ අගමැතිතුමා සමඟ සාකච්ඡා කරලා විසදුමක් ලබා ගැනීමට මාත් වජිර අබේවර්ධන ඇමතිතුමාත් අපේක්ෂා කරනවා...”යිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙහිදී කියා සිටියේය.

    ඊට එක්වෙමින් අමාත්‍ය වජිර අබේවර්ධන අමාත්‍යතුමාද පැවසුවේ ගුවන් සමාගම්වල සේවක හිඟයට වහාම පිළියම් යෙදීම අදාල ආයතනවල වගකිම වන බවයි. “ගුවන් තොටුපොළේ පහසුකම් වැඩි කිරීම පිළිබඳව පසුගිය කාලයේදී විශාල වශයෙන් ප්‍රශ්න සහ ගැටළු මතු වුණා. විශේෂයෙන්ම මගී ජනතාව දැඩි අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. මේ අනුව පෙනී යන කාරණය නම් රටට තවත් ගුවන් තොටුපොළක් අවශ්‍යයි...”යිද වජිර අබේවර්ධන අමාත්‍යතුමා පැවසීය.

     

    Latest News