ශ්‍රී ලංකාව, නියමිත ස්වෛරි බැඳුම්කර මුදල් ගෙවා අවසන් - මහබැංකු අධිපති

ජන 18, 2022

    ශ්‍රී ලංකාව, නියමිත පරිදි ස්වෛරී බැඳුම්කර මුදල ගෙවා ඇතැයි, ශ්‍රී ලංකා මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

    ස්වෛරී බැඳුම්කර සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 500ක වාරිකය ගෙවීම අද දිනයට නියමිතව තිබිණ. මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ මේ වන විට අදාළ මුදල් හුවමාරුව සිදුකර අවසන් බවයි.

    ඒ අනූව, ගෙවනු ලැබූ මුදල අදාළ පාර්ශව වෙත අද යොමු කෙරෙන බව මහබැංකු අධිපතිවරයා තහවුරු කළේය.

    මේ අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ ණය ගෙවීම් සිදු කරන අතරතුර අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිසිඳු බාධාවකින් තොරව සිදු කරන බවයි. පෞද්ගලික අංශය හා ජනතාව වෙත තමා එම පොරොන්දුව ලබා දෙන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

    ඉංග්‍රීසි පුවත් පතක් සමග පැවති සාකච්ජාවකදී ඔහු මේ බව කියා සිටියේය. විවිධ අභියෝගවලට මුහුණ දුන්නද පසුගිය වසරේ රුපියල් බිලියන 21ක ආනයන සිදුකර ඇතැයි, අමාත්‍යවරයා කියා සිටියේය. එමෙන්ම අපනයනවල වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 12 ඉක්මවා ගොස් තිබේ.

    Latest News