දෙසතියක් තුළ සංචාරකයන් 39,172ක් ශ්‍රී ලංකාවට

ජන 18, 2022

    මේ වසරේ මුල් දෙසතිය තුල සංචාරකයන් 39,172 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මෙම දින 14 තුල මෙරටට වැඩි වශයෙන් සංචාරකයන් පැමිණ ඇත්තේ රුසියානු සමූහාණ්ඩුවෙන් බවත් සංචාරකයන් 6,963ක් ඒ අනුව රුසියානු සමූහාණ්ඩුවෙන් ගෙවි ගිය සති දෙකක කාලය තුල මෙරටට පැමිණ ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    කොවිඩ් වසංගතය පැවති පසුගිය වසරක (2021) කාලය තුල මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 1,94,495කි. ඉන් වැඩිම සංචාරක පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ පසුගිය වසරේ අවසන් මාස 03 තුලයි. එම මාස 03 ක කාලය තුල මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 156,571 කි.

    පසුගිය සති 02 තුල රුසියානු සමූහාණ්ඩුවට අමතරව වැඩිම සංචාරක පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ ඉන්දියාව, යුක්රේනය, එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය, මාලදිවයින, ඕස්ට්‍රේලියාව, පෝලන්තය, ඇමරිකාව වැනි රටවලිනි.

    සංචාරක ප්‍රවර්ධනය ඉලක්ක කර ගනිමින් රුසියාව, යුක්රේනය, එංගලන්තය, ජර්මනිය හා ප්‍රංශය යන රටවල විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණු අතර එහි ප්‍රථිඵලයක් ලෙස එම රටවලින් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    සංචාරක පැමිණීම් වර්ධනය වීමත් සමග මේ වන විට එම ක්ෂේත්‍රයේ නිරතවූවන් මුහුණ පා සිටින ගැටළු වලටද කිසියම් සහනයක් ලැබෙමින් තිබෙන බව පැවසූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව ඉහළ නංවා ගැනිම සදහා රජය ගත යුතු ගතහැකි සෑම පියවරක්ම ගනිමින් සිටින බවද ප්‍රකාශ කළේය.

    මේ වසරේ ලෝකයේ විවිධ රටවල්වල පැවැත්වෙන සංචාරක ප්‍රදර්ශන සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකාව දැනටමත් සැලසුම් කර තිබේ. මීට අමතරව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මගින් හදුනාගත් රටවල විශේෂ ප්‍රවර්ධන වැඩසටහන්ද ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇත.

    මීට අමතරව මෙරට සංචාරක ව්‍යාපාරයේ ප්‍රධාන මුලාශ්‍ර වෙළදපොල ඉලක්ක කර ගනිමින් ගෝලිය සන්නිවේදන වැඩසටහන්ද ක්‍රියාත්මක කෙරෙන අතර මේ වසරේ මුල් කාර්තුව තුළ එය දියත් කිරිමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා සදහන් කරයි.

    Latest News