9 වැනි පාර්ලිමේන්තුවේ 2වැනි සැසිවාරය ජනපති ප්‍රදානත්වයෙන් අද

ජන 18, 2022

    09 වැනි පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය අද (18) පෙරවරුවේ උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

    නව පාර්ලිමේන්තු සැසිය අරඹමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (18) පාර්ලිමේන්තුවට ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරවරු 10.00ට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    නවවෙනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය විවෘත කිරීමේ උත්සවය ආචාර වෙඩිමුර රථ පෙළපාළි කිසිවකින් තොරව ඉතා චාම් අයුරින් පවත්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ඇතුළු සියලු ප්‍රධානින්ට උපදෙස් ලබාදී ඇත.

    9 වැනි පාර්ලිමේන්තුවේ 2 වැනි සැසිවාරය ආරම්භ වන අද (18) ඉදිරිපත් කෙරෙන ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ, සභාව කල් තැබීමේ විවාදයක් හෙට (19) බදාදා සහ (20) බ්‍රහස්පතින්දා යන දින දෙකේ දී පැවැත්වීමට නියමිත බව සභානායක අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. එම සභාව කල් තැබීමේ යෝජනාව ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරනු ඇති.එමෙන්ම 20 වැනි දින පනත් කෙටුම්පත් 4ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද සභානායකවරයා පැවසීය.
    එනම් 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතට සිදු කරන සංශෝධනය, පුද්ගල නාශක බිම් බෝම්බ තහනම් කිරීමේ පනත් කෙටුම්පත, 1978 අංක 02 දරන අධිකරණ සංවිධාන පනතට සංශෝධන සහ සිවිල් නඩු විධාන සංග්‍රහය සඳහා සංශෝධන, ඒ අතර වන බවද ඔහු සඳහන් කළේය.

    අභවප්‍රාප්ත හිටපු අමාත්‍ය සමරවීර මහතා පිළිබඳ ශෝක යෝජනාව 21 වැනි සිකුරාදා ඉදිරිපත් කිරීමට නියමිතයි.

     

    පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කිරීම....

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(1) අනුව පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත. පාර්ලිමේන්තුවේ සෑම සැසිවාරයක් ආරම්භයේම ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම ජනාධිපතිවරයා සතු කාර්යයකි. ඒ පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (අ) මගින් විධිවිධාන සළසනු ලැබ ඇත. 33(ආ) අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම්වල මුලසුන දැරීමට බලය ඇත.

    පළමුවන පාර්ලිමේන්තුවේ පළමුවන සැසිවාරය 1947 ඔක්තෝබර් 14 වන දින පවත්වන ලදි. එය උත්සවශ්‍රීයෙන් විවෘත කොට මුලසුන දරන ලද්දේ ආණ්ඩුකාර ශ්‍රීමත් හෙන්රි මොන්ක් මේසන් මුවර් මහතා විසිනි. එතුමා විසින් රාජාසන කථාව පවත්වන ලද අතර පාර්ලිමේන්තුව විසින් එය විවාද කොට ස්තුති යෝජනාව සම්මත කරන ලදී.

    දෙවන පාර්ලිමේන්තුවේ තුන්වන සැසිවාරය විවෘත කරන ලද්දේ දෙවන එලිසබත් රැජිණ විසිනි. 1954 අප්‍රේල් 12 දින එතුමිය විසින් උත්සවාකාරයෙන් සැසිවාරය අරඹන ලදි. රාජාසන කථාව රැජිණ විසින් කියවන ලද අතර එය පිළිබඳ විවාදයක් නොපවත්වන ලදී.

    පසු කාලීනව පාර්ලිමේන්තුවේ නව සැසිවාර උත්සවශ්‍රීයෙන් හෝ කිසිදු උත්සවයකින් තොරව ආරම්භ කරන ලදී.

    1978 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීමත් සමග නව සැසිවාර ආරම්භයේදී රාජාසන කථාව වෙනුවට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කිරීම ඇරඹුණි. වත්මන් ක්‍රියාදාමය අනුව එය විවාදයට බඳුන් කිරීමක් හෝ පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් සිදු නොවේ.

    Last modified on අඟහරුවාදා, 18 ජනවාරි 2022 07:39

    Latest News