‘‘අමාදම් සිසිලස’’ 218 වැන්නට අග්‍රාමාත්‍යතුමා එක්වෙයි  

ජන 17, 2022

    සෑම පුන් පොහෝ දිනකම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව පවත්වන “අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාවේ 218වැන්න දුරුතු පුර පසළොස්වක පොහොය යෙදෙන අද (17) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. 

    බුදුන් වහන්සේට මල්, පහන්, සුවඳ දුම් පූජා කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යතුමා ධර්ම දේශනාව සඳහා වැඩම කළ දෙමටළුව පුරාණ පොත්ගුල් විහාරය, දික්වැහැර රජ මහා විහාරය හා සිවල්ලව ගුණරත්නාරාමය යන විහාරත්‍රයාධිපති, විශ්‍රාමලත්පරිවේණාධිපති, වයඹ පළාතේ ප්‍රධාන අධිකරණසංඝනායක ධුරන්ධර, ගෞරවාර්හ රැකව ශ්‍රී ජිනරතන ස්වාමින්ද්‍රයන් වහන්සේට දැහැත් වට්ටියක් පූජා කරමින් ධර්ම දේශනාවට ආරාධනා කළේය.
    ප්‍රඥාවන්ත දැහැමි ජන සමාජයක් උදෙසා බුදු දහමේ සිසිලස බෙදාදීමේ අරමුණ පෙරදැරිව සෑම පුන් පොහෝ දිනකම  “අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාව පැවැත්වේ.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයෙන් ඇරඹි අමාදම් සිසිලස ධර්ම දේශනා මාලාව අඛණ්ඩව සෑම පොහෝ දිනකම පවත්වන්නට යෙදීම අගයමින් එහි වැදගත්කම පෙන්වා දුන් දේශකයාණන් වහන්සේ  සියලු දීමනා වලින් ධර්ම දානය උතුම් බව  දහම් කරුණු සහ ඓතිහාසික තොරතුරු ගෙනහැර දක්වමින්  පෙන්වා දුන්හ.

    දුරුතු පුර පසළොස්වක පොහොය දිනයේ වැදගත්කම පෙන්වා දුන්  දේශකයාණන් වහන්සේ ධර්ම දේශණය සඳහා මාතෘකාව කරගනු ලැබුවේ ත්‍රිපිටකයේ සංයුක්ත නිකායේ සගාථා වර්ගයේ  දේවතා සංයුක්තයේ ගාථා පාඨ දෙකකි.

    ‘‘ඔබතුමා මේ අවුරුදු ගානක් තිස්සෙම 217 ක්, මේ ධර්ම දේශනා පැවැත්වීමෙන් බලාපොරොත්තු වුයේ හොඳ සුචරිතවත් සමාජයක් ඇති කරන්න අමාමෑණි බුදුපියාණන් වහන්සේගේ දහම් සිසිල හැම දෙනාටම බෙදා  දීමයි. ඔබතුමා ඒ සිසිලස අපේ රටේ සියලුම ජනතාවට දුන්නා. බොහෝ මානසික පීඩා විඳි මේ රට අගාධයට පත් වුණ අවස්ථාවේදී ඔබතුමා මොනතරම් මේ රටට අභය දානය දුන්නාද?  ජනතාවට, උපදින පරම්පරාවටත් අභය දානය දුන්නා. ඒ වාගේ තමයි මේ උත්තරීතර මිනිස්  ජීවිතයේත් වටිනාකම ඇති වෙන්න අමාමෑණි බුදුපියාණන් වහන්සේගේ මේ ධර්ම දේශනාව පවත්වා වටිනාකමක් ලබා දුන්නා. එක තමයි වැදගත්කම.

    ඒක නිසා අපිට ඒ අතීතය ගැන අපි ගැන ආවර්ජනය කරලා සතුටු වෙන්න පුලුවන්නම්. ඔබතුමාට  හුඟක් සංතෝෂ  වෙන්න පුළුවන් තමන්ගේ  ජිවිතයෙන්  සමාජයට  මහා මෙහෙවරක් සිද්ධ වුණා කියලා,  ඒ නිසා හොඳ සතුටක් විඳින්න පුළුවන්. තමන්ගේ  යුතුකම් හා වගකීම් පිළිබඳව අවබෝධයෙන්  යුක්තව කටයුතු කරනවනම් අගමැතිතුමනි, හැම දෙනාම ආදරය කරනවා. ඔබතුමාට සකලවිද ජනතාව ආදරය කරනවා ඒ රටට සිදුවුණු සේවය සිහිපත් කරලා. ඒක තමා අපේ ජිවිත වල පරමාර්ථය’’ විය යුත්තේ යැයි දේශකයාණන් වහන්සේ  ධර්ම දේශනාවේ දී පෙන්වා දුන්හ.

    ධර්ම දේශනාව අවසානයේ දී දේශකයාණන් වහන්සේට  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අෂ්ඨපරිෂ්කාර සහ පිරිකර පූජා කළේය.

    කොළඹ මහ නගර සභාවට අයත් පෙර පාසල් ගුරුවරු පිරිසක් ද ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට පැමිණ සිටි අතර හින්දු හා ඉස්ලාමීය බැතිමතුන් පිරිසක් ද ඒ අතර වීම විශේෂත්වයකි.
    සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුව  පැවති “අමාදම් සිසිලස” ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා අග්‍රාමාත්‍යතුමාගේ බෞද්ධ කටයුතු සම්බන්ධීකරණ ලේකම් ඒ.එම් රත්නායක,පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධීකරණ ලේකම් ප්‍රියන්ත රත්නායක මහත්වරු ඇතුළු සීමිත පිරිසක් එක්ව සිටියහ.

    Latest News