අධිකරණ නියෝගය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව ගෑස් සමාගම් අධිකරණයට දන්වයි

දෙසැ 31, 2021

    ගෘහස්ථ ගෑස් සිලින්ඩර සම්බන්ධයෙන් ඉකුත් දා අධිකරණය විසින් දුන් නියෝග ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙන බව පාරිභෝගික සේවා අධිකාරිය සහ ලිට්‍රෝ හා ලාෆ් ගෑස් සමාගම් අද අභියාචනාධිකරණය හමුවේ දැනුම් දුන්නා.



    වෙළඳපොළට මුදාහැර තිබෙන අනතුරුදායක ගෑස් සිලින්ඩර ආපසු කැඳවන ලෙස අභියාචනාධිකරණය විසින් ඉකුත් දා දුන් නියෝගය ක්‍රියාත්මක කිරීම පාරිභෝගික සේවා අධිකාරිය ඇතුළු ගෑස් සමාගම් පැහැර හැර ඇති බවට චෝදනා කරමින් සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ඉදිරිපත් කළ මෝසමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදු කෙරුණා.

    රුවන් ප්‍රනාන්දු සහ සම්පත් විජයරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම මෝසම අද කැඳවනු ලැබුවා.

    මෙහිදී මෝසම ඉදිරිපත් කළ නාගානන්ද කොඩිතුවක්කු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අනතුරුදායක ගෑස් සිලින්ඩර ආපසු කැඳවන ලෙස ඉකුත් දා අභියාචනාධිකරණය විසින් දුන් නියෝගය ගෑස් සමාගම් විසින් පැහැර හරිමින් සිටින බවට චෝදනා කළා.

    මේ නිසා දිනපතා අවම වශයෙන් අනතුරු දෙක බැගින් වාර්තා වෙමින් තිබෙන බවයි නාගානන්ද කොඩිතුවක්කු මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ.

    එම අවස්ථාවේදී වගඋත්තරකාර පාරිභෝගික කටයුතු අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ මනෝහර ජයසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ගෘහස්ථ ගෑස් සිලින්ඩර සම්බන්ධයෙන් ඉකුත් දා අධිකරණය විසින් ලබා දුන් නියෝග පාරිභෝගික සේවා අධිකාරිය විසින් ක්‍රියාත්මක කර තිබෙන බව දැක්වෙන එම අධිකාරියේ සභාපතිවරයාගේ දිවුරුම් ප්‍රකාශයක් අධිකරණයට ඉදිරිපත් කළා.

    රජයේ නීතිඥවරයා සඳහන් කළේ අධිකරණය විසින් ඉකුත්දා දුන් නියෝගයට අනුව විවෘත නොකළ ගෑස් සිලින්ඩර ආපසු කැඳවීමට පියවර ගන්නා ලෙස පාරිභෝගික සේවා අධිකාරිය විසින් ගෑස් සමාගම් වෙත නියෝග කළ බව පැවසුවා.

    එමෙන්ම ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක පැවතිය යුතු ප්‍රොපේන් ප්‍රමාණය උපරිම වශයෙන් සියයට 30 විය යුතු බවට ගෑස් සමාගම් වෙත නියෝගයක් නිකුත් කර ඇති බවයි පාරිභෝගික අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා සඳහන් කළේ.

    ඊට අමතරව අඩක් භාවිතා කළ ගෑස් අඩංගු සිලින්ඩර ආපසු ලබා ගැනීමේ දී ඒ තුළ අන්තර්ගත ගෑස් වෙනුවෙන් කිසියම් මුදලක් ගෙවීමට හෝ එම ගෑස් ප්‍රමාණය වෙනුවෙන් ගෙවිය යුතු මුදල නව සිලින්ඩරයක් නිකුත් කිරීමේදී ඉන් අඩුකර ගැනීමේ වැඩපිළිවෙළක් සකසන ලෙස ගෑස් සමාගම වෙත පාරිභෝගික සේවා අධිකාරිය මගින් උපදෙස් ලබාදී ඇති බවත් රජයේ නීතිඥවරයා දන්වා සිටියා.

    මීට අදාළ යාන්ත්‍රණයක් සකස් කිරීම පිළිබඳව සාකච්ඡාවක් ලබන සදුදා පාරිභෝගික සේවා අධිකාරිය විසින් ගෑස් සමාගම් සමග පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බවත් රජයේ නීතිඥවරයා පැවසුවා.

    මෙම කටයුතු ඉටු කිරීම සඳහා ප්‍රායෝගිකව යම් කාලයක් ගතවන බවද රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ පෙන්වා දුන්නා.

    මෙම අවස්ථාවේ දී ලිට්‍රෝ හා ලාෆ් ගෑස් සමාගම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ද අධිකරණය හමුවේ දන්වා සිටියේ තම සේවාදායකයින් විසින් ඉකුත් දා අධිකරණය විසින් දුන් නියෝග ක්‍රියාත්මක කරවීමට කටයුතු කර ඇති බවයි.

    පාරිභෝගික සේවා අධිකාරියේ කටයුතු සුපරීක්ෂණය කිරීමට බලයක් අභියාචනාධිකරණයට නොමැති බව පෙන්වා දුන් ලිට්‍රෝ ගෑස් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර මහතා මෙම මෝසම පදනම් විරහිත බවත් චෝදනා කළා.

    කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සටහන් කරගැනීමෙන් පසුව පෙත්සම සලකා බැලීම සඳහා ලබන 26 වන දා කැඳවන ලෙස ද අභියාචනාධිකරණය නියම කළා.

    Latest News