දෛනික පාරිභෝගික අවශ්‍යතාවයෙන් ගෑස් සැපයුම 50%ටත් අඩු අගයක

දෙසැ 28, 2021

    ප්‍රමාණවත් ගෑස් සිලින්ඩර් තොග වෙළෙඳපොළට නොලැබීම නිසා පාරිභෝගික ජනතාව මහත් අපහසුතාවට පත්ව සිටිනවා.

    ලිට්‍රො ගෑස් ලංකා සමාගම පවසන්නේ, දෛනිකව කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ සිලින්ඩර් 30,000 ත් 40,000 ත් අතර සංඛ්‍යාවක් දිවයිනපුරා බෙදාහරින බවයි. කෙසේ වුවද, දෛනික ගෑස් සිලින්ඩර් අවශ්‍යතාවය සිලින්ඩර් 80,000 ක් පමණ වන බවයි, වාර්තා වන්නේ. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නියමයන්ට අනුකූලව, ගෑස් සිලින්ඩරවල ප්‍රොපේන් සංයුතිය යළි සකස් කිරීමෙන් පසු පාරිභෝගික ජනතාව නැවතත් ගෑස් සිලින්ඩර මිලදී ගැනීමට උනන්දුවක් දක්වමින් සිටිනවා.

    කොළඹ නගරයේ හා තදාසන්න ප්‍රදේශයන්හි මහල් නිවාසවල වෙසෙන ජනතාවට ගෑස් සිලින්ඩර හැර විකල්ප උඳුන් වර්ගයක් භාවිත කිරීමට නොහැකි වීම ද ගෑස් ඉල්ලුම වැඩි වීමට හේතුවක්. ගෑස් අලෙවි නියෝජිත වෙළෙඳසැල් අසළ ඉකුත් දින කිහිපයේ මෙන්ම, අදත් පෝලිම් දක්නට ලැබුණා. මේ අතර, ලිට්‍රො ගෑස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, දෛනික ගෘසස්ථ හා වාණිජ අවශ්‍යතා සපුරාලීම සඳහා ඉක්මනින් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි.

    ඊයේ වන විට දෛනික අවශ්‍යතා සඳහා ගෑස් නෞකා 02 ක් පිරවුම් සංකීර්ණයට බාගත කොට ඇති බව සමාගම පවසනවා. මෙරට ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් වෙ‍ෙළඳපොළේ අවශ්‍යතාවයෙන් 80% ක සැපයුම සිදු කරන්නේ, ලිට්‍රො සමාගමයි. මීට පෙර වෙළෙඳපොළට නිකුත් කෙරුණු නිල් සහ කළු මුද්‍රා සහිත ගෑස් සිලින්ඩර යළි එක්රැස් කිරීම හා ඒවායින් ගෑස් ඉවත් කිරීම යන ක්‍රියාවලිය සඳහා විශාල කාලයක් ගතවන බැවින්, නව නිෂ්පාදන ක්‍රියාවලිය මන්දගාමී වී ඇති බවද, නිවේදනයේ සඳහන්. එම ක්‍රියාවලිය වේගවත් කිරීමට අවශ්‍ය ඉක්මන් පියවර ගෙනඇති බව, ලිට්‍රො සමාගම දැනුම් දෙනවා.

    Latest News